March 28, 2024

ශ්‍රී ලංකාවේ අපරාජිත වාර්තාව බිඳී යයි

අපරාජිතයෝ පරාජය වෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩය යටතේ පැවැති ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (28) රාත්‍රියේ නිමාවට පත් වුණා.

ශ්‍රී ලංකාව මෙම තරගාවලිය තුළ පවත්වාගෙන ආ අපරාජිත වාර්තාව බිඳ හෙළමින් තරගය ජය ගත්තේ ඔස්ට්‍රේලියා කණ්ඩායම යි.

ශ්‍රී ලංකා ඉනිම

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු නායක ඒ්රන් ෆින්ච් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ් අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 154ක්.

ශ්‍රී ලංකා ඉනිමෙහි පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක කලින්ම දැවී ගිය අතර ඔහුට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 07ක් පමණයි.

කෙසේ වෙතත් මීළඟ පිතිකරු වූ චරිත් අසලංක සහ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා එක්ව ලකුණු 63ක වේගවත් සබඳතාවක් ගොඩ නැගුවා.

එම සබඳතාව බිඳී ගියේ ලකුණු 35ක් ලබා සිටි අසලංක ඇඩම් සම්පාගේ පන්දුවකට ස්ටීව් ස්මිත් වෙතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යාමත් සමග යි.

ඉන් අනතුරුව ලකුණු කිහිපයක් තුළ කඩුළු දෙකක් දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු රැස් කිරීමේ වේගය ද අඩාල කරවමින්.

එලෙස දැවී ගියේ අවිශ්ක ප්‍රනාන්දු සහ වනිඳු හසරංග යි.

අවිශ්ක සහ වනිඳු ලකුණු 04 බැගින් ලබා ගත්තා.

අනතුරුව භානුක රාජපක්ෂ සහ නායක දසුන් ශානක එක්ව ලකුණු 40ක සබඳතාවක් ගොඩ නැගුවේ බිඳවැටී තිබුණු ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරමින්.

කෙසේ වෙතත් දසුන් ශානක ලකුණූ 12ක් ලබා සිටිය දී දැවී ගියා.

මීලඟ පිතිකරු ලෙස පැමිණි චාමික කරුණාරත්න, භානුක රාජපක්ෂ සමග එක්ව ලකුණු 20ක සබඳතාවක් ගොඩ නැගුවා.

භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 33යි.

චාමික කරුණාරත්න නොදැවී ලකුණු 09ක් ලබා ගත්තා.

නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව 154ක්.

ඒ අනුව ඔස්ට්‍රේලියා පිතිකරුවන්ට පන්දු 120ක් තුළ ලකුණූ 155ක ඉලක්කයක් ලැබී තිබුණා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටාක්, පැට් කමින්ස් සහ ඇඩම් සම්පා කඩුළු 02 බැගින් ලබා ගත්තා.

ඔස්ට්‍රේලියානු ඉනිම

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පැමිණි ඔස්ට්‍රේලියා පිතිකරුවන්ගේ ආක්‍රමණශීලී පිති හරඹය හමුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සුපුරුදු රිද්මය බිඳී ගිය අයුරු දක්නට ලැබුණා.

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් යුගලය වූ නායක ඒරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් පළමු කඩුල්ල වෙනුවෙන් තැබූ ලකුණු සබඳතාව 70ක්.

එම සබඳතාව බිඳී ගියේ වනිඳු හසරංග යැවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ෆින්ච් දැවීයාමත් සමගයි.

ඔහු ලැබූ ලකුණු ගණන 37ක්.

ග්ලේන් මැක්ස්වෙල්ගේ කඩුල්ල ද දවාගත්තේ හසරංග යි.

අවිශ්ක ප්‍රනාන්දු අතට උඩ පන්දුවක් ලබා දෙමින් මැක්ස්වෙල් දැවී යද්දී ලබා සිටියේ ලකුණූ 05ක් පමණයි.

වෝනර්ගේ හපන්කම්

කෙසේ වෙතත් ඩේවිඩ් වෝනර් සහ ස්ටීව් ස්මිත් පිහිටවූ ලකුණූ 50ක සබඳතාව ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් ගෙන දුන්නා.

ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය ලඟා කරවූ ප්‍රමුඛතම ඔස්ට්‍රේලියානු පිතිකරුවා වූයේ ඩේවිඩ් වෝනර්වන අතර ඔහු අඩු ලකුණූ ගණනක් ලබා සිටිය දී ලබා දුන් පහසු උඩපන්දුවක් කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා විසින් අතහැරි ආකාරය සැමගේ අවධානයට බඳුන් වූවා.

එය තරගයේ තීරණාත්මක අවස්ථාවක් වූ බව යි විස්තර විචාරකයින් පවා සඳහන් කළේ.

අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි ඩේවිඩ් වෝනර් දවා ගැනීමට නායක දසුන් ශානක පසුව සමත් වුවත්, ඒවන විට කළ හැකි හානිය වෝනර් විසින් සිදු කර තිබුණා.

දසුන් යැවූ පන්දුවකට වෝනර් එල්ල කළ පහරක් උඩපන්දුවක් ලෙස භානුක රාජපක්ෂ විසින් රැක ගත්තා.

පන්දු 42ක් තුළ වෝනර් රැස් කළ ලකුණු ගණන 65ක්.

ජයග්‍රහණය

ඉන් අනතුරුව පිටියට පිවිසි මාකස් ස්ටෝනිස් සහ ස්ටීව් ස්මිත් ලකුණු 25ක සබඳතාවක් ගොඩනගමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ස්මිත් නොදැවී ලකුණු 28ක් රැස්කර ගද්දී ස්ටෝනිස් නොදැවී ලකුණු 16 යි.

ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුළු 03ක් පමණක් දැවී ලකුණූ 155ක් රැස් කරගනිමින් තරගය කඩුළු 07කින් ජය ගත්තා.

ඒ තරගයේ තවත් පන්දු 18ක් ඉතිරිව තිබිය දී.

ලකුණු 12කට කඩුළු 02ක් දවා ගත් ඇඩම් සම්පා තරගයේ වීරයා ලෙස පිදුම් ලැබුවා.

ලකුණු පුවරුව

මෙම තරගයේ නිමාවත් සමග පළමු කාණ්ඩයේ කණ්ඩායම් දැක්වෙන ලකුණු පුවරුව ද වෙනස් වූ අතර ඔස්ට්‍රේලියාව එහි පෙරමුණ ගැනීමට සමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකාව එහි 04 ස්ථානය දක්වා පහත වැටුණා.

මෙම වටයේ තමන් සහභාගී වූ තරග දෙකම ජය ගෙන ඔස්ට්‍රේලියාව ලබා සිටින ප්‍රසාද ලකුණු ගණන 04ක්.

ඔවුන්ගේ දල ලකුණු ලබා ගැනීමේ වේගය +0.727ක් වනවා.

ශ්‍රී ලංකාව තමන් සහභාගී වූ තරග දෙකෙන් ජය ගත්තේ එක් තරගයක් පමණ යි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු දෙකකුත්  -0.416ක දල ලකුණු ලබාගැනීමේ වේගයකුත් හිමි වී තිබෙනවා.

පළමු කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින්නේ ප්‍රසාද ලකුණූ 04ක් සහ +3.614ක දල ලකුණු ලබාගැනීමේ වේගයක් හිමිකරගෙන සිටින එංගලන්තය යි.

ප්‍රසාද ලකුණු 02ක් සහ +0.179ක දල ලකුණූ ලබාගැනීමේ වේගයක් ඇති දකුණු අප්‍රිකාව තුන්වැනි ස්ථානයේ පසුවනවා.

පස්වැනි සහ හයවැනි ස්ථානවල පිලිවෙලින් බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් රැඳී සිටිනවා.

ඔවුන් දෙපාර්ශවයම තමන් මෙම වටයේ සහභාගී වූ තරග දෙකම පරාජයට පත් වුණා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 October 2021 23:28