March 28, 2024

පළමු ඕවරයේදීම නැමීබියාවෙන් පෙරළිකාර වැඩක්!

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තවත් තරගයක් ඊයේ (27) රාත්‍රියේ නිමාවට පත් වූවා.

එය පැවැත්වුණේ දෙවැනි කාණ්ඩයට අයත් ස්කොට්ලන්තය සහ නැමීබියාව අතර යි.

මූලික වටයේ තරගවල දී B කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම මෙන්ම පළමු ස්ථානයට පත් වූ කණ්ඩායම වූ ස්කොට්ලන්තය ඊයේ තරගය ජය ගනීවියි බොහෝ දෙනා අනාවැකි පළ කළත් තරගය ආරම්භයේ දීම එම සියළු දෙනාගේ අදහස් වෙනස් කිරීමට නැමීබියාව සමත් වුණා.

නැමීබියානු නායකයා තරගයේ කාසියේ වාසිය හිමිකරගත් අතර ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

නපුරු සිහිනයක් වූ ස්කොට්ලන්ත ඉනිම

නැමීබියානු නායකයාගේ ආරාධනාවට අනුව පිටියට පිවිසි ස්කොට්ලන්ත ආරම්භක පිතිකරුවන් පමණක් නොව, තරගයේ විස්තර විචාරකයන් මෙන්ම ලොව වටා තරගය නැරඹූ ප්‍රේක්ෂකයන් ද මවිත කරන්නට ප්‍රථම පන්දුවාරය යැවූ රූබන් ට්‍රම්පල්මන් සමත් වුණා.

තරගය ආරම්භ කරමින් යැවූ ප්‍රථම පන්දුවම කඩුල්ලේ වැදී ජෝජ් මන්සි දැවී ගිය අතර තරගයේ තුන්වැනි පන්දුවට කඩුලු රකින ක්‍රීඩකයා වෙත උඩපන්දුවක් ලබා දෙමින් කලුම් මැක්ලියඩ් දැවී ගියා.

පළමු පන්දුවාරය ආරම්භයේ දීම එලෙස ඇරඹුණු ස්කොට්ලන්ත කඩුලු බිඳවැටීම එතනින් නතර වූයේ නැහැ.

පළමු පන්දුවාරයේ සිව්වැනි පන්දුවට කඩුල්ල මුවාකරමින් ස්කොට්ලන්ත නායක රිචී බෙරිංටන් දැවී ගියා.

ඒ මොහොතේ දී ස්කොට්ලන්ත ලකුණු පුවරුවෙහි සටහන් වූයේ ලකුණු 02ට කඩුළු 03ක් ලෙස යි.

ආරම්භක පිතිකරුවන් තිදෙනෙකු එලෙස ලකුණු 0ට දැවීයාමෙන් පසුව පිටියේ සිටි මැතිව් ක්‍රොස් සහ ක්‍රෙයිග් වැලිස් ස්ථාවර ලකුණු සබඳතාවක් ගොඩ නැගීමට උත්සහ ගත් නමුත් එය ව්‍යර්ථ වූයේ ලකුණු 04ක් ලබා සිටි වැලිස්, ඩේවිඩ් වීසගේ පන්දුවකට කඩුල්ල මුවා කරමින් දැවී යාම හේතුවෙන්.

ඒවන විට ස්කොට්ලන්තය කඩුළු 04ක් දැවී ලබා සිටියේ ලකුණු 18ක් පමණ යි.

කෙසේ වෙතත් මැතිව් ක්‍රොස් සහ මිචෙල් ලීස්ක් එක්ව ලකුණූ 39ක සබඳතාවක් ගොඩ නැගුවේ ස්කොට්ලන්තය පත්ව සිටි අවමානය මඳක් හෝ මගහරවා ගනිමින්.

කෙසේ වෙතත් 05 වැනි කඩුල්ල ලෙස මැතිව් ක්‍රොස් ලකුණු 19කට දැවී ගියා.

අනතුරුව පිටියට පිවිසි ක්‍රිස් ග්‍රීව්ස්, මිචෙල් ලීස්ක් සමග එක් ව ලකුණු 36ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූවා.

එම සබඳතාව බිඳී ගියේ අර්ධ ශතකය අබියස සිටි ලීස්ක් ලකුණු 44කට දැවී යාමත් සමග යි.

ස්කොට්ලන්ත 06 වැනි කඩුල්ල එලෙස දැවී යද්දී මුලු ලකුණු ගණන 93ක් ලෙස සටහන්ව තිබුණා.

අනතුරුව පැමිණි මාක් වැට් හට ද සාර්ථක වීමට නැමීබියාව ඉඩ නොදුන් අතර ඔහු ලකුණු 03කට දැවී ගියා.

ඉනිමෙහි අවසන් පන්දුවේ දී දුවද්දී දැවී යාමකට හසු වී ක්‍රිස් ග්‍රීව්ස් දැවී යද්දී ලකුණු 25ක් ලබා සිටියා.

ඒවන විට අනෙක් පස රැඳී සිටි ජෝෂ් ඩේවි නොදැවී ලකුණූ 05 යි.

මේ අනුව ස්කොට්ලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 109ක්.

නැමීබියානු පිළිතුරු ඉනිම

පිළිතුරු ඉනිම සඳහා ලකුණු 110ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නැමීබියාවේ පළමු කඩුල්ල ලකුණූ 28 වෙද්දී දවා ගැනීමට සෆ්යාන් ෂරීෆ් සමත් වූවා.

මිචෙල් වැන් ලින්ගන් එලෙස දැවී ගියේ ලකුණු 18කට යි.

නැබීමියානු මුලු ලකුණූ ගණන 50 බවට පත් වෙද්දී දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 09ක් ලබා සිටි සෑන් ග්‍රීන් දැවී ගියා.

ඒ ක්‍රිස් ග්‍රීව්ස්ගේ පන්දුවකට උඩ පන්දුවක් ලබා දෙමින්.

ඉන් නොනැවතුනු ස්කොට්ලන්තය තුන්වැනි නැමීබියානු කඩුල්ල ද දවාගත් අතර මුලු ලකුණු ගණන 61ක් වෙද්දී එලෙස දැවී ගියේ ලකුණු 04ක් පමණක් ලබා සිටි ගර්හාඩ් එරස්මස්.

මිචෙල් ලීස්ක් විසින් එම කඩුල්ල ලබා ගත්තා.

ලකුණු ගණන 67 ලෙස සටහන් වෙද්දී ස්ටම්ප් කිරීමකට ලක්ව ආරම්භක පිතිකරු ක්‍රෙයිග් විලියම්ස් ද දැවී ගියේ ස්කොට්ලන්ත ක්‍රීඩා ලෝලීන්ට යම් බලාපොරොත්තුවක් එක් කරමින්.

විලියම්ස් දැවී ගියේ ලකුණු 23කට යි.

කෙසේ වෙතත් කඩුලු 04ක් එලෙස දැවී ගොස් තිබිය දී ඩේවිඩ් වීස සහ ජේ ජේ ස්මිත් එක්ව ලකුණු 35ක ලකුණු සබඳතාවක් ගොඩ නැගුවේ නැමීබියානු ඉනිම ස්ථාවර කරමින්.

නමුත් පන්දු 15කට ලකුණු 08ක පහසු ඉලක්කයක් ලැබී තිබූ මොහොතක් වූ තරගයේ 17 වැනි පන්දුවාරය මැද දී නැමීබියාවේ 05 වැනි කඩුල්ල ද බිඳී ගියා.

මාක් වැට් අතට උඩ පන්දුවක් ලබා දෙමින් එලෙස දැවී ගියේ ලකුණූ 16ක් ලබා සිටි ඩේවිඩ් වීස යි.

තරග ජය සඳහා ලකුණු 02ක් පමණක් අවැසිව තිබියදී ලකුණූ 02ක් පමණක් ලබා සිටි ජැන් ෆ්‍රයිලින්ක් ද නැමීබියාවේ 06 වැනි කඩුල්ල ලෙස දැවී ගියා.

තරග ජය

කෙසේ වෙතත් අවසන් පන්දු වාරයේ පළමු පන්දුවට ජේ ජේ ස්මිත් එල්ල කළ 06 පහරත් සමග තරගය අවසන් වූවා.

ඒ අනුව තරගයේ තවත් පන්දු 04ක් ඉතිරිව තිබිය දී කඩුලු 06ක් දැවී, ලකුණු 115ක් ලබා කඩුලු 04කින් තරගය ජය ගැනීමට නැමීබියාව සමත් වුණා.

තරගයේ පළමු පන්දුවාරයේ දී කඩුලු 03ක් දවා ගත් රූබන් ට්‍රම්පල්මන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

ලකුණූ පුවරුව

මෙම තරගයේ නිමාවත් සමග සුපිරි 12 වටයේ, දෙවැනි කාණ්ඩයේ සිටින කණ්ඩායම් 06 අතුරින් 03 වැනි තැනට පැමිණීමට නැමීබියාව සමත් වූවා.

ඒ ප්‍රසාද ලකුණු 02ක් සහ +0.550ක දල ලකුණූ ලබාගැනීමේ වේගයක් සහිතව යි.

නැමීබියාව මෙම වටයේ දී මේවන විට සහභාගී වී තිබෙන්නේ එක් තරගයකට පමණක්වන අතර ස්කොට්ලන්තය මෙම වටයේ දී සහභාගී වූ තරග 02ම පරාජයට පත් වූවා.

ඒ අනුව ඔවුන් කිසිදු ප්‍රසාද ලකුණක් හිමිකර නොගෙන දෙවැනි කාණ්ඩයේ අවසන් ස්ථානයේ පසුවනවා.

එම කාණ්ඩයේ පළමු තැන පාකිස්තානය හිමිකරගෙන සිටින අතර ඇෆ්ඝනිස්තානය දෙවැනි තැනට පත්ව සිටිනවා.

නවසීලන්තය සහ ඉන්දියාව පිළිවෙලින් 04 වැනි සහ 05 වැනි ස්ථාන වල පසුවනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 October 2021 11:07