April 25, 2024

පාකිස්තානය පළමු තැන ගනියි! ඉන්දියාවට කළ දේ නවසීලන්තයටත් කරයි!

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ දෙවැනි කාණ්ඩයේ තරගයක් ඊයේ (26) රාත්‍රියේ අවසන් වූවා

ඒ පාකිස්තානය සහ නවසීලන්තය අතර තරගය යි.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.

නවසීලන්ත ඉනිම

පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන් හට තමන් බලාපොරොත්තු වූ තරම් ලකුණු ලබා ගැනීමට පාකිස්තාන කණ්ඩායම ඉඩ ලබා දුන්නේ නැහැ.

පාකිස්තාන පන්දු යවන්නන් නවසීලන්ත පිතිකරුවන්ව ලකුණු 134කට සිමා කළා.

ඒ කඩුලු 08ක් දවා ගනිමින්.

නවසීලන්ත කණ්ඩායමේ නම ගිය පිතිකරුවන් කිසිවෙකුට පිටියේ ස්ථාවර වීමට පාකිස්තාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

මාටින් ගප්ටිල් ලකුණූ 17යි.

ඩැරිල් මිචෙල් සහ ඩෙවෝන් කොන්වේ ලකුණූ 27 බැගින් ලබා ගත්තා.

නායක කෙවින් පීටර්සන් හට ලබාගත හැකි වූයේ ලකුණු 25ක් පමණ යි.

ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 13.

ජේම්ස් නීෂම් එක් ලකුණකුත්, ටිම් සෙයිෆර්ට් ලකුණු 08කුත්, මිචෙල් ෂැට්නර් ලකුණු 06කුත් ලබා දැවී යද්දී ඉෂ් සෝධි නොදැවී ලකුණූ 02ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී හරීස් රෞෆ් ලකුණු 22කට කඩුළු 04ක් ලබා ගනිමින් අගනා පන්දු යැවීමක නිරත වූවා.

ෂාහීන් අෆ්‍රිඩි, ඉමාඩ් වසීම් සහ මොහමඩ් හෆීස් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පාකිස්තාන ඉනිම

ලැබී ඇති 135ක ඉලක්කය සඳහා පිටියට පිවිසි පාකිස්තාන ආරම්භක පිතිකරුවන් යුගලයවන බාබර් අසාම් සහ මොහමඩ් රිස්වාන් වෙත විස්තර විචාරකයින්ගේ පවා දැඩි අවධානය යොමුව තිබුණේ පසුගිය දා ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේ දී එක් කඩුල්ලක් හෝ ලබා නොදී ඔවුන් දෙදෙනා තරග ජය දක්වා පිහිටවූ ලකුණු 152ක සබඳතාව හේතුවෙන්.

කෙසේ වෙතත් ඒ ආකාරයේ දැවැන්ත සබඳතාවක් ගොඩනගා ගැනීමට නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක ටිම් සෞතී ඉඩ ලබා දුන්නේ නැහැ.

ඔහු එවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී බාබර් අසාම් දැවී ගියේ ලකුණු 09කට යි.

එය සෞතීගේ 100වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුල්ල ද වූවා.

මීලඟ පිතිකරු වූ ෆකර් සමාන් ලකුණූ 11ක් ලබා සිටිය දී දැවී ගියේ පාකිස්තාන මුලු ලකුණු ගණන 47 බවට පත් වෙද්දී යි. 

ඊෂ් සෝධි විසින් එම කඩුල්ල ලබා ගත්තා.

මිචෙල් ෂැට්නර් එවූ පන්දුවකට මොහමඩ් හෆීස් එල්ල කළ පහරක් හතරේ සීමාව ආසන්නයේ දී ඉතාමත් දක්ෂ උඩපන්දුවක් ලෙස රැක ගන්නට ඩෙවෝන් කොන්වෝයි සමත් වූ අතර ලකුණු 11ක් ලබා සිටි මොහමඩ් හෆීස් ඉන් දැවී ගියා.

ආරම්භක පිතිකරු  රිස්වාන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 33ක් පමණ යි.

ඊෂ් සෝධිගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසු වී ඔහු දැවී ගියේ පාකිස්තාන ඉනිමෙහි වැඩිම ලකුණු ලාභියා වෙමින්.

පාකිස්තාන 04 වැනි කඩුල්ල එලෙස දැවී යද්දී මුලු ලකුණු ගණන සටහන් වූයේ 69ක් ලෙස යි.

සිය කණ්ඩායම එවන් අසීරු අවස්ථාවක සිටිය දී සිය වගකිම සිතට ගත් ශොයීබ් මලික් ලකුණු රැස් කිරීම ඇරඹූයේ පාකිස්තාන ක්‍රීඩා ලෝලීන්ගේ සිතට යළි බලාපොරොත්තුවක් ලබා දෙමින්.

එහෙත් අනෙක් අන්තයේ සිටි ඉමාඩ් වසීම් හට මලික් වෙත සහය දීමට නොහැකි වූයේ ඔහු ට්‍රෙන්ට් බෝල්ට්ගේ පන්දුවකට කඩුල්ල මුවා කරමින් දැවී යාම නිසා යි.

ජයග්‍රහණය

කෙසේ වෙතත් මීලඟ පිතිකරු වූ අසීෆ් අලී සහ ශොයීබ් මලික් පාකිස්තානයේ ජය තහවුරු කිරීම සඳහා එක්වූ අතර ඔවුන් දෙදෙනා පන්දු 23ක දී ගොඩනැගූ ලකුණු සබඳතාව 48ක්.

ඒ අනුව තරගයේ 19 වැනි පන්දු වාරයේ දී, එනම් තරගයේ තවත් පන්දු 08ක් පමණක් ඉතිරිව තිබිය දී පාකිස්තානය කඩුළු 05ක් දැවී ලකුණූ 135ක් ලබා තරගය ජය ගත්තේ කඩුළු 05කින්.

ශොයීබ් මලික් නොදැවී ලකුණු 26කුත්, අසීෆ් අලී නොදැවී ලකුණු 27කුත් ලබා ගත්තා.

තරගයේ වීරයා වූයේ කඩුළු 04ක් ලබා ගත් හරිස් රෞෆ්.

දෙවැනි කාණ්ඩයේ දැන් තත්ත්වය

මෙම තරගයේ අවසානයත් සමග දෙවැනි කාණ්ඩයේ ලකුණූ පුවරුවේ පෙරමුණ ගැනීමට පාකිස්තානය සමත් වුණා.

ඒ ප්‍රසාද ලකුණු 04ක් ලබා ගනිමින්.

ඔවුන්ගේ දල ලකුණූ ලබා ගැනීමේ වේගය +0.738ක්.

පාකිස්තානය මේවන විට තරග 02ක් ක්‍රීඩා කර ඇති අතර ඒ දෙකම ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වුණා.

ඇෆ්ඝනිස්තානයේ දල ලකුණු ලබාගැනීමේ වේගය පාකිස්තානයට වඩා ඉහළ අගයක් (+6.500) ගත්තත් ඔවුන් සහභාගි වී ඇත්තේ එක් තරගයකට පමණක් වීම නිසා ඔවුන්ට ලැබී ඇත්තේ ප්‍රසාද ලකුණු 02ක්.

ඒ අනුව ඔවුන් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 October 2021 09:08