April 20, 2024

පළමු තරගය නිමයි - ජය පැරදුම තීරණය වූයේ මෙහෙමයි

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ පළමු 20විස්ස තරගය සුළු මොහොතකට පෙර අවසන් වූවා.

 

ඒ ඉන්දීය කණ්ඩායමට ජය අත්කර දෙමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ඉන්දීය කණ්ඩායමට ඇරයුම් කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලබා ගත් ලකුණු ගණන 164ක්.

කෙසේ වෙතත් පන්දුවාර 18යි පන්දු 03ක් තුළ දී සියළු දෙනා දැවී ශ්‍රී ලංකා පිතිකරුවන් හට ලබා ගත හැකි වූයේ ලකුණු 126ක් පමණයි.

ඒ අනුව ඉන්දියානු කණ්ඩායම අද තරගය ලකුණු 38කින් ජය ගනු ලැබුවා.

මෙම තරගයේ ජයග්‍රහණයත් සමග තරග 03කින් යුතු තරගාවලියේ පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ශ්‍රී ලංකා පිලිතුරු ඉණිමේ දී ආරම්භක පිතිකරුවන් යුගලය වූ මිනෝද් භානුක සහ අවිශ්ක ප්‍රනාන්දු වේගවත් ආරම්භයක් ගත් නමුත් ලකුණු 10ක් ලබා සිටි මිනෝද් දැවී ගියේ එම රිද්මය බිඳ හෙළමින්.

අවිශ්ක ප්‍රනාන්දු ද ලකුණු 26කට දැවී ගියා.

උපනායක ධනංජය ද සිල්වා දැවී ගියේ ලකුණු 09ක් පමණක් ලබා සිටිය දී.

තත්ත්වය එසේ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරෝත්තු දල්වන්නට චරිත් අසලංක සමත් වූයේ ඔහු වේගවත් ලකුණු රැස්කිරීමක යෙදීමත් සමග යි.

ඔහු පන්දු 26ක් තුළ ලබාගත් ලකුණු ගණන 44ක්.

කෙසේ වෙතත් අර්ධ ශතකය පෙනෙන තෙක් මානයේ දී ප්‍රිත්වි ෂාව් හට උඩපන්දුවක් ලබා දෙමින් ඔහු දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු දියවී යාමේ ආරම්භය ලෙස යි.

අසලංකගේ ඉනිමට හයේ පහරවල් සහ හතරේ පහරවල් 03 බැගින් ඇතුලත් වූවා.

අසලංක ගොඩනැගූ වේගය ලබා ගැනුමට අනෙකුත් පිතිකරුවන්ට හැකි නොවූ අතර අශේන් බණ්ඩාර ලකුණු 09කටත්, නායක දසුන් ශානක ලකුණු 16කටත් දැවී ගියා.

තරගය ජයග්‍රහණය කරා මෙහෙයවන්නට වගකීම ගනු ඇතැයි සිතූ වනිදු හසරංග හට කිසිදු ලකුණක් ලබා ගැනීමට දීපාක් චාහර් ඉඩ ලබාදුන්නේ නැහැ.

චාමික කරුණාරත්නට ද ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 03ක් පමණයි.

බලාපොරොත්තුවක් සඳහා ඉතිරිව සිටි එකම ක්‍රීඩකයා වූ ඉසුරු උදානට ද එක් ලකුණකින් සෑහීමකට පත් වීමට සිදු වූවා.

දුෂ්මන්ත චමීර ද සීමා වූයේ එක් ලකුණකට යි.

අවසානයේ නොදැවී ඉතිරිවන විට අකිල ධනංජය ද එක් ලකුණක් ලබා සිටියා.

+ + + + + +

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ඉනිමෙහි පළමු කඩුල්ල, තරගයේ පළමු පන්දුවේදීම දවාගන්නට දුෂ්මන්ත චමීර සමත් වුණා.

ලකුණු 0කට ප්‍රිත්වි ශාව් එලෙස දැවී ගියා.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සූර්යකුමාර් යාදේව් අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූවා.

කෙසේ වෙතත් ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ඔහු දැවී ගියේ වනිඳු හසරංගගේ පන්දුවකට යි.

නායක ශිකර් ධවාන් ලකුණු 46ක් රැස් කළේ පන්දු 36කට යි.

අද දින 20විස්ස වරම් හිමිකරගත් චාමික කරුණාරත්නගේ පළමුවැනි කඩුල්ල ලෙස ධවාන් දැවී ගියේ අශේන් බණ්ඩාර වෙත උඩපන්දුවක් ලබා දෙමින්.

සංජු සැම්සන් ලකුණු 27ක් සහ හර්දික් පන්ඩ්‍යා ලකුණු 10ක් ලබා සිටිය දී දැවී ගියා.

ඉනිම අවසන්වන විට නොදැවී ක්‍රීඩා කළ ඉෂාන් කිෂන් ලකුණු 20කුත් කෘනල් පන්ඩ්‍යා ලකුණු 03කුත් ලබා සිටියා.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුළු 02 බැගිනුත්, චාමික කරුණාරත්න එක් කඩුල්ලකුත් ලබා ගත්තා.

Rate this item
(0 votes)