April 25, 2024

මිකී ඇතුළු කණ්ඩායම ගැන මුරලිගෙන් විවේචනයක්!

පසුගිය 20 වැනිදා නිමාවට පත්වූ ශ්‍රී ලංකා ඉන්දියානු එක්දින ක්‍රිකට් තරඟාවලියේ 02 වෙනි තරගය ශ්‍රී ලංකාවට වාසිදායක තරගයක් ව තිබුණත් අවසන් මොහොතේ එය ශ්‍රී ලංකා කණ්ඩායමට ගිලිහී ගියා.

මේ සම්බන්ධව විවිධ වාද විවාදයන් මෙරට ක්‍රිකට් ලෝලීන් අතර ඇතිව තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු මෙන්ම ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් විසින් විවේචනයක් සිදුකර තිබෙනවා.

තරගයෙන් අනතුරුව පිටිය තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් අතර උණුසුම් කතාබහක් ද නිර්මාණය වී තිබුණා. මේ සම්බන්ධව මුරලි විසින් සිය අදහස් ප්‍රකාශ කර තිබුණා.

එහිදී ඔහු විසින් මිකී ආතර්ගේ හැසිරීම සම්බන්ධව ප්‍රකාශ කර තිබුණේ සුන්සුන් වී පිටිය වෙත පණිවිඩ කිහිපයක් යවනවාට වඩා පුහුණුකරු එම අවස්ථාවේ ක්‍රියා කළේ කලකිරීමෙන් බවයි.

එමෙන්ම එම තරඟයේ දී පන්දු යවන්නන් භාවිත කළ ආකාරය ගැන මුරලි සඳහන් කරමින් පවසා තිබුණේ කණ්ඩායම තුළ සිටින හොඳ පන්දු යවන්නාට අවස්ථාව ලබාදී කඩුල්ලක් දවා ගැනීමට උත්සාහ නොකර එම පන්දු යවන්නා අවසන් පන්දුවාරයන් දක්වා තබා ගැනීම උචිත නැති බවයි.

කඩුළු 07ක් දැවී තිබියදී තවත් එක් කඩුල්ලක් දවා ගත්තා නම් තරඟය සම්පුර්ණයෙන්ම වෙනස් වීමට ඉඩ තිබූ බව පවසන මුරලි තවදුරටත් පවසා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම එම අවස්ථාවේ ජයග්‍රාහී මාවත දැක නොතිබුණු බවත්, ඔවුන්ට එය අමතක වී ගොසින් ඇති කියලයි.

මුරලි පවසා සිටියේ “ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාර්ග දැන සිටියේ නැහැ, පසුගිය වසර ගණනාව තුළ ඔවුන්ට ජයග්‍රාහී මාර්ග අමතක වී ගිහින්. තරඟයක් ජයග්‍රහණය කරන්නේ කෙසේදැයි ඔවුන් නොදැන සිටීම නිසා ඔවුන්ට එය අද දුෂ්කර දෙයක් වෙලා” යනුවෙනි.

පළමු පන්දුවාර 15ක් තුළ ඉන්දීය කඩුළු 03ක් බිඳ වැටුණු අවස්ථාවේ ඉන්දියානු කණ්ඩායම දැඩි අරගලයක නිරතව සිටි බවද මුත්තයියා මුරලිදරන් සඳහන් කර සිටියා. නමුත් චහාර් සහ බුවනේශ්වර්ගේ විශාල උත්සාහය වන්නට ඔවුන් ජයග්‍රහණය කළ බවද මුරලි වැඩිදුරටත් කියා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම වැරැදි කළ බවට මුරලි පවසා සිටියේ වනිඳු හසරංගට පන්දු යැවීමට තිබුනු බවත්, වනිඳුව රඳවා තබා ගැනීමට වඩා ඔහුව යොදාගෙන කඩුල්ලක් දවා ගැනීමට කටයුතු කළ යුතුව තිබූ බවද පවසමිනි.

මුරලි එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ “ඔවුන් බුවනේශ්වර් හෝ චහාර් දෙදෙනාගෙන් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වූවා නම්, තවත් ටේල් එන්ඩර්ස් දෙකක් පැමිණියා නම්, ඕවරයකට ලකුණු 8-9 ක් පසුපස හඹා යාම දුෂ්කර වෙනවා. ඔවුන් යම් යම් වැරදි සිදු කළ නමුත් එය අද්දැකීම් අඩුවීම නිසා කළ දෙයක්” යනුවෙන් ද පවසා සිටියා.

Rate this item
(1 Vote)