October 10, 2024

ශ්‍රී ලංකා ඉනිම නිමාවෙයි - චාමික අදත් වැඩ පෙන්වයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන එක්දින තරඟාවලියේ 02 වෙනි තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 275ක් රැස් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වන්නේ කාලයකට පසුව වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවත් එය බවට පත් කරමින්.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50ක් ද, චරිත අසලංක ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභීයා වෙමින් ලකුණු 65ක් ද රැස් කරගැනීමට සමත් වුණා.

ප්‍රථම තරගයේ මෙන්ම අවසන් පන්දුවාර කිහිපය තුළ ඉන්දියාවට එරෙහිව ප්‍රවේගකාරී පිතිහරඹයක් ක්‍රියාත්මක කරන්නට චාමික කරුණාරත්න සමත් වෙනවා. ඒ අනුව ඔහු විසින් ලකුණු 44ක් රැස් කරගැනීමට සමත් වුණා.

තරගය පුරාවට ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය නිසා කඩුළු කිහිපයක් දැවී ගිය ආකාරයද දැකගත හැකි වුණා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් ලකුණු 54කට කඩුළු 03ක්ද, දීපක් චහර් ලකුණු 53ට කඩුළු 02ක් ද, යුස්වේන්ද්‍ර චහල් ලකුණු 50කට කඩුළු 03ක් ද දවා ගැනීමට සමත් වුණා.

ඉන්දීයාව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට නියමිතයි.

Rate this item
(0 votes)