October 10, 2024

මෙන්ඩිස්, දික්වැල්ල සහ ධනුෂ්කගේ චෝදනාව ග්‍රාන්ට් ෆ්ලවර්ටත් එල්ල වෙයි! තනතුරත් අහිමි වෙන ලකුණු!!

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විනය පරික්ෂණයක් ආරම්භ කර ඇති බව ප්‍රධාන පෙළේ පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

මේ වන විට නිරෝධානය වෙමින් සිටින ග්‍රාන්ට් ෆ්ලවර්ගේ නිරෝධානය කාල සීමාව අවසන් වූ පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව විසින් ඔහු සම්බන්ධව පරික්ෂණ ආරම්භ කිරීමට නියමිතයි.

එංගලන්ත සංචාරය අතරතුරදී කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක විසින් ජෛව ආරක්ෂණ බුබුළ නීතිය කැඩීමත් සමඟ එල්ල වූ චෝදනාවම ග්‍රාන්ට් ෆ්ලවර් හටද එල්ල වී තිබෙනවා.

ඒ අනුව ග්‍රාන්ට් විසින් එංගලන්තයේ දී ජෛව ආරක්ෂණ බුබුළ නීතිය කඩ කළාද යන්න පිළිබඳව මෙම  විනය පරික්ෂණයේ දී විමර්ශනය කිරීමට නියමිතයි.

එංගලන්ත සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට කරන ලද PCR පරික්ෂණවලදී ග්‍රාන්ට් ෆ්ලවර් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ දත්ත විශ්ලේෂකයෙකු හටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා.

මෙම ආසාදිතයන් දෙදෙනා හඳුනා ගැනීමත් සමඟ ඉන්දීය තරඟාවලිය දින කිහිපයක් කල් දැමීමටද සිදු වුණා.

ග්‍රාන්ට් ෆ්ලවර්ගේ ධූර කාලය එළැඹෙන දෙසැම්බර් මාසයේ අවසන් වීමට නියමිතව ඇති අතර ඊට පෙර ඔහුව ඉවත් කරනු ඇති බවට මත පළවෙමින් තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු ලෙස තාවකාලිකව ගාල්ල රිචමන්ඩ් විද්‍යාලයේ හිටපු ක්‍රිකට් පුහුණුකරු මෙන්ම, ශ්‍රි ලංකා ක්‍රිකට් වයස අවුරුදු 19 පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ද වූ ධම්මික සුදර්ශන මහතාව පත් කර තිබෙනවා.

Rate this item
(1 Vote)