April 24, 2024

ඉන්දියානු කණ්ඩායම ගැන අර්ජුනගේ ප්‍රකාශයට ආකාෂ් චොප්රා ගෙන් චෝදනා

ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට එක්වන ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම දෙවන පෙළ කණ්ඩායමක් බවට අර්ජුන රණතුංග කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආකාෂ් පැවසුවේ,  ඇෆ්ගනිස්ථානය ද විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ඇති බවත් ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ වටයට තරග කොට ලෝකෙ කුසලාන තරඟාවලියට ඇතුලත් විය යුතු බවයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ගැන මතභේදාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංගට හිටපු ඉන්දීය පිතිකරු සහ විචාරක ආකාෂ් චොප්රා චෝදනා කර තිබෙනවා.

ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට එක් වන ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම දෙවන පෙළ කණ්ඩායමක් බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට කළ අපහාසයක් බවත් රණතුංග මීට දින දෙකකට පෙර පවසා තිබුණි. අර්ජුනගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ආකාෂ් කියා සිටියේ "මෙය ඉන්දියාවේ ප්‍රධාන කණ්ඩායම නොවන බව සත්‍යයක්. එයට බුම්රා, ෂාමි, විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා ඇතුළත් වෙන්නේ නැහැ. නමුත් මෙම කණ්ඩායම ඔබ අපගේ බී කණ්ඩායම ලෙස දකිනවාද? කියාය.

ආකාෂ් සිය යූ ටියුබ් වීඩියෝවෙන් කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ මෑත කාලීන ක්‍රියාකාරිත්වය පිළිබඳව පළමුව සොයා බැලිය යුතු බවයි. "ඇත්තම කිව්වොත් ඇෆ්ගනිස්ථානයට ලෝක විස්සයි විස්ස තරඟාවලියට සුදුසුකම් ලැබීමට අවශ්‍ය නැහැ, නමුත් ඔබ සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කළ යුතුයි" සත්‍යය නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ මොහොතේ සිටින්නේ අරගලයක. එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා  තරගමාලාවේ කණ්ඩායමේ ක්‍රියාකාරිත්වය තුළින් ඔබට මෙය අනුමාන කළ හැකියි" යනුවෙන් ආකාෂ් චොප්රා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලැබූ පරාජයන් නිසා 20-20  ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතර ට පිවිසීමට නොහැකි වුණත් ඇෆ්ගනිස්ථානයට සුපිරි 12 දෙනා අතරට දැනටමත් පැමිණීමට හැකිවී තිබෙනවා.

ඔහු තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය සඳහා ඉන්දියාවේ ක්‍රීඩකයින් 11 දෙනාට එක්දින තරග 471 ක අත්දැකීම් තිබෙනවා. මෙය අපේ පළමු කණ්ඩායම නොවේ. ශ්‍රී ලංකාව තම කණ්ඩායම තෝරා ගන්නා විට එම ක්‍රීඩකයින් එක්දින තරග කීයකට ක්‍රීඩා කර ඇතිදැයි සොයා බැලීම වැදගත් කරුණුක් ලෙස ආකාෂ් චොප්රා පවසා සිටියා. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ " ඔබේ අත්දැකීම් අපේ අත්දැකීම් සමඟ ගැලපීමට ඔබට අවශ්‍ය වූ විට, මෙම සටන ඉතා රසවත් වනු ඇත" යනුවෙනුයි.

ශ්‍රී ලංකාවේ 1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග පවසා ඇත්තේ ඉන්දියාව තම හොඳම කණ්ඩායම එංගලන්තයට යවා දුර්වල කණ්ඩායම මෙහි යවා ඇති බවයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අර්ජුනගේ මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති බව  සඳහන් වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයින් 20 දෙනෙකුගෙන් 14 දෙනෙකුම කුමන හෝ ක්‍රිකට් තරග රටාවක් තුළ ජාත්‍යන්තරය නියෝජනය කර ඇති බවයි. ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන ඉන්දියානු කණ්ඩායම දෙවන පෙළ කණ්ඩායමක් නොවන බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

බොහෝ විචාරකයන් පවසන්නේ ශ්‍රී ලංකාවට එවා ඇති ශිකර් ධවාන් ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට මුහුණ දීමට පවා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හැකියාවන් දුර්වල මට්ටමක තිබෙන බවයි. එංගලන්ත සංචාරය ගෙනහැර දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ ලෝකයේ තිබෙන ඕනෑම තරග රටාවකින් හෝ ශ්‍රී ලංකාවට ජය ගැනීමට නොහැකි වී තිබෙන බවයි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 05 July 2021 13:24