March 29, 2024

ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ ජයග්‍රාහකයා තෝරන්න අලුත් ක්‍රමයක්

ලෝක ටෙස්ට් ශූරතාවලිය එංගලන්තයේ සදම්ටන් හී රෝස් බෝල් ක්‍රීඩාංගණයේ ආරම්භ වුණේ ලෝකයේ මිලියන සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන්ගේ සිත් තුළ ජයග්‍රාහකයා පිළිබඳව දැඩි කුතුහලයක් ඇති කරමින්.

නමුත් තරඟය ආරම්භයේ පටන් අද දක්වාම වර්ෂාවෙන් දිගින් දිගටම බාධා එල්ල වීම නිසා තරගය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙනවා. මේ නිසා බොහෝ දෙනා විසින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වී දෙරටම සම ජයග්‍රහකයන් ලෙස අවසන් වනු ඇති බවට අනුමාන කරමින් සිටිනවා.

නමුත් ඉන්දියාවෙන් මේ සම්බන්ධව පළවන්නේ වෙනස්ම අදහසක්. 

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහි විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සුනිල් ගවස්කාර් විසින් තරඟාවලිය ජය පරාජයකින් තොරව අවසන් කරනවට වඩා ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත දන්වා තිබෙනවා.

සුනිල් ගවස්කාර් විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ටෙස්ට් කුසලාන ඉතිහාසය තුළ රටවල් දෙකක් එක්ව කුසලානයක් බෙදාගන්න පළමු අවස්ථාව මෙය වනු ඇති බවයි.

දින 02ක් තුළ ඉනිම තුනක් ක්‍රීඩා කිරීම කළ නොහැකි දෙයක් බවත් එය ඉතාමත් දුෂ්කර කාර්යක් වනු ඇති බවටත් සුනිල් ගවස්කාර් විසින් පවසා තිබෙනවා. තරඟාවලිය පැවැත්වීමට නියමිත තිබුණේ ජුනි 18 වැනිදා සිට 22 දක්වා වන අතර පළමු දිනය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමු නිසා හෙට (23) දිනයත් සංචිත දිනයක් ලෙස භාවිත කිරීමට නියමිත තිබෙනවා.

සුනිල් ගවස්කාර් විසින් අවධාරණය කර සිටින්නේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා ටයි-බේකර් වැනි ක්‍රමවේදයක් භාවිත කරන ලෙසයි.

ටයි-බේකර් ක්‍රමය යනු ටෙනිස්, බේස්බෝල් වැනි ක්‍රීඩාවලදී දෙපාර්ශවයම ලකුණු සමාන වුවහොත් එය කැඩීම සඳහා පවත්වනු ලබන විශේෂිත තරඟයක් හඳුන්වන ක්‍රමවේදයයි.

එංගලන්තය සහ නවසීලන්තය දින 02ක් ඉතිරිව තිබියදී ක්‍රීඩා කර ඇත්තේ තවමත් පළමු ඉනිම පමණයි.

Rate this item
(0 votes)