March 28, 2024

දැන් පැවැත්වෙන ලෝක ශූරතා ක්‍රිකට් තරඟයට අප්‍රිකාවෙන් 4 දෙනෙක්

මේ වන විට එංගලන්තයේ පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනා අතරට වෙනත් රටවල උපන් ක්‍රීඩකයන් 4 දෙනෙකු ඇතුළත් වීම කැපී පෙනෙන්නක්.

මෙම ක්‍රීඩකයන් 4 දෙනාම අප්‍රිකානු කලාපයේ රටවල ක්‍රීඩකයන්ගේ වීමද විශේෂත්වයක්.

කණ්ඩායමේ 11 තුළ විදේශිකයින් 4ක්

ඉන්දියාව සමග පැවැත්වෙන මෙම තරගය සදහා සහභාගි වන නවසීලන්ත කණ්ඩායමේ කඩුලු රකින බී.ජේ.වොට්ලිං, වේග පන්දු යවන නීල් වැග්නර් , ආරම්භක පිතිකරු ඩෙවොන් කොන්වේ දකුණු අප්‍රිකාවේ උපන් ක්‍රීඩකයන් වන අතර තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් දකුණු අප්‍රිකාවේ අසල්වැසි සිම්බාබ්වේහි උපත ලද ක්‍රීඩකයෙකු වනවා.

මෙම සිව්දෙනාගෙන් තමන් උපන් රටවල අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කොට තිබෙනවා.

උපන් රට වලින් සිදු වූ අසාධාරණය

 නීල් වැග්නර් දකුණු අප්‍රිකාවේ සිට එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායම් සඳහා ක්‍රීඩා කොට එරට ජාතික කණ්ඩායමට එක් වීමට බලාපොරොත්තු වුවද පසුව එම අදහස් වෙනස් කොට නවසීලන්ත ජාතික කණ්ඩායමට එක් වීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගත්තා.අද ඔහු නවසීලන්ත ජාතික කණ්ඩායමේ ප්‍රධාන පෙළේ වමතින් වේග වේගපන්දු යවන්නෙක්.

මේ සිවු දෙනා අතරින් නවසීලන්ත ජාතික කණ්ඩායමට මේ මෑතකදී එක් වූ ක්‍රීඩකයා වන්නේ ඩෙවොන් කොන්වේ.

මේ ක්‍රීඩකයන් සිව් දෙනාගේම විශේෂත්වය වන්නේ තමන් උපන් රටවල ක්‍රීඩා කිරීමේ දී මුහුණ දීමට සිදුවන කලකිරීමට පත්වන ප්‍රශ්න මත නවසීලන්ත ජාතික ක්‍රිකට් පිල තෝරා ගැනීමයි.

කණ්ඩායම් වර්ණභේදවාදයට අනුව තේරීම

විශේෂයෙන්ම නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරන දකුණු අප්‍රිකාවේ උපන් ක්‍රීඩකයන් තිදෙනාටම මුහුණ දීමට වූ පොදු ප්‍රශ්නය වූයේ දකුණු අප්‍රිකාවේ ජාතික කණ්ඩායමේ සිට ප්‍රාන්ත කණ්ඩායම් දක්වා කණ්ඩායම් වලට ක්‍රීඩකයන් ඇතුළත් කර ගැනීමේදී එය දක්ෂතාවය අනුව නොව වර්ණභේදවාදී ප්‍රතිපත්තියක් මත සිදු කිරීමයි.

දකුණු අප්‍රිකාව තුළ කළු හා මිශ්‍ර සම්භවයක් ඇති ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට එරට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති හෙයින් සුදු ජාතික ක්‍රීඩකයන්ට හිමි වන්නේ කණ්ඩායමේ 11 දෙනා අතුරින් 40% - 45% ක පමණ ප්‍රතිශතයකි.එනම් සුදු ජාතික ක්‍රීඩකයින් 5 දෙනකු පමණක් කණ්ඩායමට ඇතුළත් කර ගැනීමේ පදනමකි.

බොහෝ දක්ෂයන් යුරෝපයට හා ඔස්ට්‍රේලියානු කලාපයට

මෙම හේතුව මත කලකිරුණු බොහෝ සුදු ජාතික දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් දකුණු අප්‍රිකාව අතහැර එංගලන්තය , නවසීලන්තය , ඕස්ට්‍රේලියාව මෙන්ම අයර්ලන්තයට පැමිණ එම රටවල පුරවැසිකම හිමි කොටගෙන එම රටවල් නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙන් ක්‍රීඩා කරනවා.

විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ දක්ෂතම පිතිකරුවෙකු වන මාර්නස් ලැබුස්චැග්නේ එසේ දකුණු අප්‍රිකාව අතහැර පැමිණි ක්‍රීඩකයෙක්.

සිම්බාබ්වේ ක්‍රිකට්ද රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ ගොදුරක් වී ඇති බැවින් එරට ජාතික කණ්ඩායම නියෝජනය කළ හා කරන බොහෝ සුදු ජාතික ක්‍රීඩකයින් සිම්බාබ්වේ කණ්ඩායම අතහැර ඉහත සඳහන් රටවල ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පෙළඹ තිබෙනවා.

කෙටි මාර්ගය ප්‍රයෝජනයට ගැනීම

මෑතක් වන තුරුම සිම්බාබ්වේ රට නියෝජනය කළ කඩුළු රකින පී.ජේ.මූර් එසේ සිබ්බාබ්වේ කණ්ඩායම අතහැර මේ වන විට අයර්ලන්ත කණ්ඩායම සඳහා සුදුසුකම් ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා.

මේ බොහෝ ක්‍රීඩකයන්ට සිය දෙමාපියන් හෝ මිත්තණිය , මුත්තණුවන් හට ඉහත රටවල ගමන් බලපත්‍රයක් හිමිව තිබේ නම් ඔවුන්ට එම රටවල පුරවැසියෙකු ලෙස පිළිගන්නා නීතියක් විශේෂයෙන්ම එංගලන්තය හා අයර්ලන්තය ඇතුළු යුරෝපා රටවල ක්‍රියාත්මක වනවා.

බොහෝ දකුණු අපිකානු හා සිම්බාබ්වේ ක්‍රීඩකයන්ට එම රටවලට පැමිණෙන්නේ මෙම සුදුසුකම ප්‍රයෝජනයට ගනිමින්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 June 2021 21:09