April 20, 2024

ශකීබ් සමාව ඉල්ලයි - යකා නටපු හේතුව තරඟ පවා දීමක්?

ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිදු ලෙස අපේක්ෂා කළ නොහැකි ආකාරයේ හැසිරීමක නිරත ශකීබ් අල් හසන් විසින් තමන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ලෝකයෙන් සමාව අයැද තිබෙනවා.

එහිදී ශකීබ් විසින් කියා තිබුණේ තමන්ගේ කෝපය නිසා ඇති වූ තත්ත්වය පිළිබඳව තමන් ක්‍රිකට් ලෝලීන්ගෙන් ඇතුළු සෑම දෙනෙකුගෙන්ම සමාව ඉල්ලා සිටිනා කියලයි. තමන් වැනි ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණ ක්‍රීඩකයෙකු එලෙස හැසිරීම නොකළ යුතුව තිබුණත් අවාසනාවකට මෙන් එවන් සිදුවීම් විය හැකි බවද ශකීබ් පවසා සිටියා.

මිනිසෙකු ලෙස වුණු මෙම වැරැද්ද සම්බන්ධයෙන් කණ්ඩායමෙන්, කළමනාකාරිත්වය, තරඟාවලියේ නිලධාරීන්ගෙන් සහ සංවිධායක කමිටුවෙන් සමාව ඉල්ලා සිටින බවද ශකීබ් වැඩිදුරටත් පවසා සිටියා. ඉදිරියේ දී එවන් සිදුවීම් නොවීමට වග බලාගන්නා බවද ශකීබ් විසින් පවසා සිටියා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ෆේස්බුක් සටහනක් නිකුත් කරමින්.

ශකීබ් යකා නටන්න තරම් තරඟයේ සිදු වුණේ මොකක්ද?

මෙම සිදුවීමට හේතු වූ කාරණයන් ද මේ වන විට හෙළි වෙමින් තිබෙනවා. මෙම සිදුවීම වී තිබුණේ ඩකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී සරේ බංග්ලා ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයකදී. මෙහිදි තරග විදිමින් සිට තිබුණේ මොහොමඩාන් ස්පෝර්ට් සහ අබාහානි ලිමිටඩ් යන කණ්ඩායම් දෙකයි.

යකා නටපු පළවෙනි අවස්ථාව

මෙහිදි ශකීබ්ට සිය ඉවසීම මුලින්ම නැති වී යන්නේ ඔහු විසින් මුෂ්ෆිකූර් රහිම් වෙත යොමු කරන පන්දුවක් හමුවේ රහීම් විසින් “Leg Before Wicket (LBW)” නැතිනම් කඩුල්ල මුවා කිරීමේ වරද සිදු කළ බවට කරන ඉල්ලීමකට විනිසුරුවරයා විසින් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙනි. එහිදී විනිසුරු බැන වදිමින් ශකීබ් විසින් කඩුල්ලට පයින් ගැසීමට කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් විනිසුරු සිය තීරණය වෙනස් කර තිබුණේ නැහැ.

යකා නටපු දෙවැනි අවස්ථාව

දෙවැනි අවස්ථාවේ දී ශකීබ්ට ඉවසීම නැතිව ගොස් තිබුණේ ඩක්වර්ත්-ලුවිස්-ස්ටර්න් (DLS) ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පන්දුවාර 06ක් යැවීමට තිබුණත් විනිසුරවරුන් විසින් පන්දුවාර 5යි පන්දු 5ක් යවා තිබියදී තරඟය නතර කිරීමට තීරණය කිරීමයි. එහිදී දැඩිව කෝපයට පත් ශකීබ් විසින් කඩුල්ල ගලවා පොළොවේ ගසන ආකාරයද දැකගත හැකි වුණා.

එහිදී පළමු ඉනිම ක්‍රීඩා කළ ශකීබ් නියෝජනය කරන මොහොමඩාන් ස්පෝර්ට් විසින් පළමුව පන්දුවට පහර දී පන්දුවාර 20 තුළ කඩුළු 06කට ලකුණු 145ක් රැස්කර ගෙන සිටියා. නමුත් අබාහානි ලිමිටඩ් කණ්ඩායම පන්දුවාර 5යි පන්දු 05ක් තුළ රැස් කරගෙන තිබුණේ කඩුළු 03ක් දැවී ලකුණු 31ක් පමණයි.

ඩක්වර්ත්-ලුවිස්-ස්ටර්න් (DLS) ක්‍රමය අනුව අබාහානි ලිමිටඩ් වෙත පන්දුවාර 09කදී ලකුණු 76ක් රැස් කිරීම සිදු වුණු අතර නමුත් ඔවුනට රැස් කර ගැනීමට හැකි වුණේ කඩුළු 06කට ලකුණු 44ක් පමණයි.

මෙහිදී බොහෝ දෙනෙකු පවසා තිබුණේ ශකීබ් ඉවසීම නැතිවන්නට ඇත්තේ ඩකා ප්‍රිමියර් ලීග් තුළ තරඟ මුදලට පවා දීම් පිළිබඳව ඔහු හොඳින්ම දන්නා නිසා බවයි.

සබැඳි පුවත >>>

ශකීබ් අල් හසන් පිටිය මැද යකා නටයි - විකට්ටුවත් ගලවා පොළොවේ ගසයි (VIDEO)

Rate this item
(2 votes)
Last modified on Friday, 11 June 2021 21:51