April 25, 2024

ලෝක වාර්තා තැබූ ප්‍රවීන්ට දරුණු කැපිල්ලක්: 24 දෙනාගේ කොන්ත්‍රාත් ලැයිස්තුවෙනුත් ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (14) ප්‍රකාශයට පත් කළ ක්‍රීඩකයින් 24 දෙනකුගෙන් යුත් නවතම කොන්ත්‍රාත් ලයිස්තුවෙන් සිය මංගල ටෙස්ට් තරගයේදී ලෝක වාර්තාවක් තැබූ ප්‍රවීන් ජයවික්‍රම ඉවත් කොට තිබේ.

A1,A2,A3,B1,B2,B3,C1,C2,C3,D1,D2,D3 ආදී වශයෙන් කාණ්ඩ 12 ක් යටතේ කොන්ත්‍රත් පිරිනමා ඇති අතර ඒ එක කාණ්ඩය කටවත් ප්‍රවීන් ජයවික්‍රමව ඇතුළත්කොට නොමැත.

ප්‍රවීන් ජයවික්‍රම , 1982 අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අජිත් ද සිල්වා ගෙන් පසු බිහිවූ විශිෂ්ටතම වමත් දඟ පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකාවට ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ නායකත්වය දැරූ අර්ජුන රණතුංගගේ පවා පැසසුමට ලක් විය.

සිය මංගල ටෙස්ට් තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ඉනිම් දෙකේ දීම කඩුළු 5 කට වඩා ලබා ගනිමින් මුළු තරඟයේදීම කඩුළු 11 ක් ලබා ගනිමින් ප්‍රවීන් ජයවික්‍රම ලෝක වාර්තා පොතට ඇතුළත් විය.

ප්‍රවීන් ජයවික්‍රමට එම ටෙස්ට් තරගයට සහභාගි වීමට අවස්ථාව ලැබුණේ එතෙක් ශ්‍රී ලංකා පිල නියෝජනය කළ වමත් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙනිය ආබාධයට ලක්වීම හේතුවෙන් වන අතර ඇඹුල්දෙනිය හට B2 කාණ්ඩයේ කොන්ත්‍රාත්තුවක් පිරිනමා තිබේ.

සිය මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කර ගනිමින් වාර්තාවක් තැබූ පැතුම් නිශ්ශංක හට B3 කාණ්ඩය යටතේ කොන්ත්‍රාත්තුවක් පිරිනමා ඇත.

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අසමත් වූ අවිශ්ක ප්‍රනාන්දු , අසිත ප්‍රනාන්දු හා නුවන් ප්‍රදීප්ට මෙවර කොන්ත්‍රාත් අහිමි වී තිබේ.

නිරන්තරයෙන්ම ආබාධවලට ලක් වීම් හේතුවෙන් ජාතික කණ්ඩායමෙන් ඉවත් කෙරුණු ලහිරු කුමාර , දුෂ්මන්ත චමීර සහ කසුන් රාජිත යන ක්‍රීඩකයන්ටද කොන්ත්‍රාත් පිරිනමා තිබේ.

නිරෝෂන් දික්වැල්ල හා ධනංජය ද සිල්වා හට A1 කාණ්ඩයේ ඉහළම කොන්තරාත්තු පිරිනමා ඇති අතර මතභේදයට තුඩු දී ඇති කුසල් මෙන්ඩිස් හට A3 කාණ්ඩයේ කොන්ත්‍රාත්තුවක් පිරිනැමීමද විශේෂත්වයකි.

ක්‍රීඩකයන්ට ලබාදී තිබෙන කොන්තරාත් වල වටිනාකම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශයට පත් නොකළ ද සාමාන්‍යයෙන් පහළම කාණ්ඩයේ සිටින ක්‍රීඩකයෙකු වුවද මාසිකව රුපියල් ලක්ෂ 5 ඉක්මවූ වැටුපකට හිමිකම් කියයි.

කොන්ත්‍රාත් ලැයිස්තුවෙන් ඉවත් කිරීම මත ප්‍රවීන් ජයවික්‍රම හිමිකම් කියන්නේ තරගයකට සහභාගි වීමේ දී ලැබෙන තරග මුදලට (MATCH FEE) පමණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සමග කොන්ත්‍රාත්තු වලට නොඑළඹෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ට සිය අභිමතය පරිදි ක්‍රීඩා කිරීමේ අයිතිය ලැබේ.

ප්‍රවීන් ජයවික්‍රම හට එංගලන්තයේ ක්‍රීඩා සමාජයක් සඳහා ක්‍රීඩා කිරීමට ආරාධනා ලැබ ඊට යෑමට ඔහු සූදානම්ව සිටියදී ඔහුගේ පුහුණුකරු විසින් ඔහුගේ එම ගමන නතර නොකළේ නම් මේ වන විට ප්‍රවීන් ජයවික්‍රමට ලෝක වාර්තාවක් තැබූ තරඟයට ඉදිරිපත් වීමට අවස්ථාවක් නොලැබෙනු ඇත.

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 May 2021 09:32