April 24, 2024

තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකාව හැර ගිය හේතුව හෙළි කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකාව හැර ගිය හේතුව ජාතික පුවත්පතක අතිරේකයක් සඳහා සාකච්ඡාවක් ලබා දෙමින් හෙළි කර තිබේ.

එහිදී ඩිල්ෂාන් පවසා සිටියේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වශයෙන් කටයුතු කරන සමයේ තමන්ට සිය පවුල සමඟ ගත කිරීමට තිබූ කාලය අඩු වූ බවයි.

ක්‍රීඩා දිවියෙන් සමුගත්තත් ශ්‍රී ලංකාවේ රැඳී සිටියහොත් වෙනත් වැඩ කටයුතුවලට සම්බන්ධ වීමට සිදුවන නිසා තමන් ඇතුළු පවුලේ පිරිස ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බවයි.

කෙසේ වෙතත් රට වෙනුවෙන් ඔ්නෑම අවස්ථාවක තමන්ගෙන් දෙයක් විය යුතු නම් ඒ වෙනුවෙන් තමන් ඕනෑම අවස්ථාවක ඉදිරිපත් වන බවද ඩිල්ෂාන් සඳහන් කර තිබුණි.

ඩිල්ෂාන් වසරකට පමණ පසුව නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබුණත් නැවතත් ඔ්ස්ට්‍රේලියාවට යෑමට නියමිත බවද සඳහන් කළේය.

ඕස්ට්‍රේලියාවේදී ක්‍රිකට් සමාජ කිහිපයකට ක්‍රීඩා කරන්නැයි ඩිල්ෂාන්ට ආරාධනා ලැබී ඇති බවද ඔහු සඳහන් කර තිබුණි. 

එම ක්‍රිකට් සමාජවලට තමන්ගේ අත්දැකීම් අවශ්‍ය බව පැවසූ ඩිල්ෂාන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ තමන්ට වෙලාවක් ඇත්නම් එම සමාජවලට පැමිණ ක්‍රීඩා කරන ලෙසද ඔවුන් පවසා ඇති බවයි.

එමෙන්ම විවිධ රටවල තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තමන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා පුහුණු වීම්වල නිරතව සිටින බවත් ඔවුන්ට තමන්ගේ අත්දැකීම් එක්ක ඔවුන්ගේ ක්‍රිකට් දිවිය හදා ගැනීමට අවශ්‍ය යැයිද ඩිල්ෂාන් සඳහන් කළේය.

Rate this item
(0 votes)