February 25, 2021

චමින්ද වාස් හා ශ්‍රී ලංකා ක්‍රිකට් අතර අර්බුදයක් - ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගන්නම බැරිවෙයිද? ප්‍රේක්ෂකයන් විමසයි

February 23, 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව වේග පන්දු යවන පුහුණුකරු ලෙස  ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම සුපිරි වමත් වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පසුගිය 19 වැනිදා පත් කරන ලදී.

නමුත් ඔහු ඊයේ (22) එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඇති වූ අර්බුදයක් මූලික කරගෙනයි.

 මෙහිදී චමින්ද වාස් මහතා විසින් සිය වැටුප සම්බන්ධව කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙලෙස ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ මේ වන විට මුලු ලෝකයම ආර්ථික  අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක පුද්ගලික මූල්‍ය වාසි මත පදනම්ව වගකීම් විරහිතව යමින් හදිසියේම ධුරයෙන් ඉවත්වීම කණගාටුවට කරුණක් වී ඇති බවයි. 

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවසා තිබුණේ රට වෙනුවෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයක් ලෙස සැලකෙන චමින්ද වාස් මහතා වසර ගණනාවක් පුරා රට නියෝජනය කරමින් කළ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කළමනාකාරීත්වය අගය කොට සලකනු බවයි. එවැනි වාතාවරණයක් තුළ දැනටමත් ලබා දෙනු ලබන වේතනයට අමතරව වැඩිපුර මුදලක් ඉල්ලමින් සිදුකරන ලද අසාධාරණ ඉල්ලීම පරිපාලනය විසින් ප්‍රතික්ෂේප කිරීමේදී මෙවැනි ආකාරයේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි කරුණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දැනුම් දී සිටියි.

චමින්ද වාස් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණේ බටහිර කොදෙව් සංචාරය සඳහා සියලු කටයුතු සුදානමින් තිබූ අවස්ථාවකය.

කෙසේ වෙතත් මෙයට පිළිතුරු ලබා දීමට චමින්ද වාස් මහතා කටයුතු කර තිබුණු අතර එහිදී ඔහු කියා තිබුණේ තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කාරුණික ඉල්ලීමක් කළ බවත්, තමන්ට මේ අවස්ථාවේ කීමට හැක්කේ එපමණක් බවයි. එමෙන්ම යුක්තිය ඉටුවනු ඇති බවද ඒ මහතා සඳහන් කර තිබුණි.

මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මෙම සිදුවීම සමඟ නැවත බලාපොරොත්තු රහිත භාවයකට පත්ව තිබෙන අතර පිරිසක් පවසා තිබුණේ “මේ රටේ ක්‍රිකට් ගොඩ ගන්නම බැරි වෙයිද?” යනුවෙනි.

Rate this item
(0 votes)