April 25, 2024

“විනය හදාගන්න බැරි නම් අයින් කරලා දාන්න” - සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කියන කතාව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම සුපිරි ආරම්භක පිතිකරුවෙකු වන සනත් ජයසූරිය මහතා ඊයේ (26) දිනයේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේ අද වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වැටී ඇති තැන ගැන කණගාටුව වන බවයි.

එහිදී සනත් ජයසූරිය මහතා කියා සිටියේ ඉන්න හිටින්නවත් තැනක් නොමැතිව කැපවීම් කර රට නියෝජන කරමින් රටත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාවත් ඉහළට ගැනීමට උත්සාහ කළ බවයි. එසේ කැප කිරීම් කර තිබිය දී ක්‍රිකට් වැටී තිබෙන තැන පිළිබඳව කණගාටු වන බවද ඒ මහතා සඳහන් කළේය.

“මේක පොඩි පොඩි පැලැස්තර ඇලවීම මඟින්, පොඩි පොඩි තැන්වලින් එහාට මෙහාට දාලා ඉත්තෝ අදිනවා වගේ එහෙන් මෙහෙන් ඇදලා ඕක කරන්න හම්බ වෙන්නේ නැහැ..” යැයිද සඳහන් කළ සනත් ජයසුරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ “මේක සම්පුර්ණයෙන්ම හිතන විදිහයි, එයාලා කල්පනා කරන විදිහයි වෙනස් කරලා හොඳ විනයක් ඇතුව වැඩ කරන්න පටන් ගත්තොත් මං හිතනවා මේක හදාගන්න පුළුවන් වෙයි” යනුවෙන්ද පවසා සිටියේය.

“විනයක් ඇතුව හදාගන්න බැරි කට්ටියව මේ වෙලාවේ බය නැතුව අයින් කරලා .තීරණ ගන්න පුළුවන් වෙන්න ඕන.. ඕක තමයි පහුගිය කාලේ තිබුණු ලොකුම ප්‍රශ්නය.. මේ කණ්ඩායමේ අපිට හරි විදිහේ කෙනෙක් ඇවිල්ලා.. කවුරු හෝ වේවා.. කරන්න පුළුවන් අය ඕන තරම් ඉන්නවා.. ඉතින් ඒක හැදුවොත්.. මේ ඩිසපීලීන් එක හදලා ක්‍රිකට් එක හරි ගානට හදලා ගන්න පුළුවන්..” යැයිද සනත් ජයසූරිය මහතා එම වැඩසටහනේ දී සඳහන් කළේය.

තවමත් මෙම ක්‍රියාව කිරීමට ප්‍රමාද වී නොමැති බවත්, අපේ ක්‍රීඩකයන් තවමත් සිටින බවත් මෙය නිවැරැදිව හදාගත යුතු බවද ඔහු සඳහන් කළේය. මෙය හදා ගැනීම සඳහා සියලු දෙනා එකතු විය යුතු බවද ජයසූරිය මහතා සඳහන් කළේය.

පැලැස්තර ඇලවීම නොකර අලුත්ම විදිහකට හිතා බලා ශ්‍රී ලංකා ක්‍රිකට් සදා ගත යුතු බවද සනත් ජයසූරිය මහතා පැවසීය.






Rate this item
(0 votes)