March 28, 2024

“අපි ක්‍රීඩා කළේ පුහුණුකරුවෙක් නැතුව - අදත් වෙනසක් වෙලා නැහැ” - ශ්‍රී ලංකා ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායකයා සිය හඬ අවදි කරයි

1982 ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමි වූ පසුව මෙරට ටෙස්ට් කණ්ඩායමේ ප්‍රථම නායකයා බන්දුල වර්ණපුර මහතා විසින් රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පසුගිය එංගලන්ත සංචාරය පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කර තිබුණි.

එහිදී බන්දුල වර්ණපුර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ “මම කැමති අපි යන්න අපේ පළවෙනි ටෙස්ට් මැච් එකට.. 82 එකේ ගැහුව එක.. මෙවැනිම මැච් එකක් තමයි එදා වුණේ.. 05 වෙනි දවසේ නෙමෙයි 04 වෙනි දවසේ තමයි ඉවර වුණේ..පළවෙනි දවසේ 03 හැමෝම හිතුවේ ලංකාව දිනයි කියලා.. අපි ආඩම්භරයට කියනවා නෙමෙයි..” යන්නයි.

1982 දී මෙතරම් පහසුකම් නොතිබුණු අවස්ථාවක යම් සටනක් ලබා දීමට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සමත් වූ බවත් බන්දුල වර්ණපුර මහතා ප්‍රකාශ කර සිටියේය. “ඒක පළවෙනි ටෙස්ට් මැච් එක.. එතකොට ගහලා තියෙන්නේ දවස් 02 ක්ලබ් මැච්.. ඒ වගේම පළවෙනි වතාවටයි ගහන්නේ..”

එකළ තරගයට මුහුණ දෙන අවස්ථාවේ සිය කණ්ඩායමට පුහුණුකරුවෙකු ද නොසිටි බව බන්දුල වර්ණපුර මහතා ප්‍රකාශ කර සිටියේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ “රාජ්සිම් කියලා ලේසන් ඔෆිසර් කෙනෙක් හිටියා අපිව බලාගන්න..තෝමස් කියලා මහත්තයෙක් හිටියා මසාජ් කරන්න..” යැයි පැවසීය.

“පිටරට පුහුණුකරුවෝ පැත්තකින් තියමුකෝ, ලංකාවේ පුහුණුකරුවෙක්වත් අපිට හිටියේ නැහැ පුහුණු කරන්න..” යැයි පැවසු බන්දුල වර්ණපුර මහතා සඳහන් කර සිටියේ එවැනි තත්ත්වයක් උඩ සිය කණ්ඩායම ක්‍රීඩා කළ බවත් එදා සහ අද කිසිදු වෙනසක් වී නොමැති බවත් ඒ මහතා පැවසීය.

“එංගලන්තය එක්කමයි ක්‍රීඩා කරන්නේෙ..අපිත් එදා ක්‍රීඩා කළේ එහෙමයි..නමුත් ඒ මට්ටමෙන් එළියට ඇවිල්ලා නැහැ..කණගාටුයි නේද ඇත්තටම එහෙම බලනකොට..” යැයිද වර්ණපුර මහතා ප්‍රකාශ කර සිටියේය.

1982 දී කොළඹ පී. සාරා ඕවල් අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරඟාවලියේ දී පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 218ක් රැස් කරගත් අතර එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 223ක් රැස් කරගත්තේය.

සිව්වන දිනයේ සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩාම ලකුණු 175කට සියලු දෙනා දැවී ගිය අතර සිය දෙවනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම කඩුළු 7කින් තරඟය ජය ගත්තේ ලකුණු 171ක් ලබා ගනිමිනි.

Rate this item
(0 votes)