April 25, 2024

කඩුල්ල පිටිපස්සේ ඉඳන් කෑගහන දික්වැල්ලට වැඩ වරදීද?

ක්‍රිකට් ක්‍රීඩාවේ සීමිත පන්දුවාර තරඟවලදී හැර දින 05ක් තිබෙන ටෙස්ට් තරඟයක කඩුළු රකින්නා කඩුල්ලක් දවා ගැනීමේ දී හැර කතා කරන අවස්ථාවන් ඉතාමත් අවමය.

නමුත් සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ක්‍රිකට් තරඟාවලියේ දී නිරෝෂන් දික්වැල්ලගේ ක්‍රියාව පිළිබඳව මේ වන විට ක්‍රිකට් ක්‍රීඩා විචාරකයන්ගෙන් ඇතුළු විශාල පිරිසකගේ අවධානය හිමිව තිබේ.

නිරෝෂන් දික්වැල්ල විසින් එංගලන්ත ක්‍රීඩකයන් පිටියේ පන්දුවට පහර දෙන අවස්ථාවේ කඩුල්ල පිටිපස සිට විවිධ කතා කියමින් සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් සහ පිටිය රකින ක්‍රීඩකයන් උනන්දු කරන ආකාරය දැකගත හැකි විය.

බොහෝ දෙනෙකු කඩුල්ල පිටුපස සිට නිහඬව සිය කඩුළු රකින වගකීම ඉටු කළ යුතු බවට කීවත් ක්‍රිකට් විචාරකයන් මෙම සිදුවීම පිළිබඳව වෙනස්ම අදහසක් දක්වා තිබුණි.

ඔවුන් පෙන්වා දෙන්නේ දික්වැල්ල විසින් කඩුල්ල පිටුපසට වී කරන දෙය විනෝදජනක බවත්, විටෙක එය හාස්‍ය ජනක බවයි. සීමිත පන්දුවාර තරඟයක මෙන් නොව ටෙස්ට් තරගයකදී ක්‍රීඩාගාරයේ සිට තරගය නරඹන ප්‍රේක්ෂකයන්වත් නොමැති අවස්ථාවක දික්වැල්ල විසින් මෙලෙස ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයන් සමඟ ද විහිළු කරමින් කරන දේ පිළිබඳව ඔවුනට ගැටලුවක් නොමැති බවද පවසා තිබුණි.

ඔවුන් පෙන්වා දෙන්නේ මෝචරියක සිටින මළ මිනී මෙන්ම සිට ක්‍රීඩා කිරීමට වඩා මෙය හොඳ බවයි. දික්වැල්ල විසින් පමණ ඉක්මවා දේවල් පැවසුවහොත් ඔහුගේ කට වැසීමේ බලය පිටියේ විනිසුරුවන්ට හිමි බවද ක්‍රිකට් විචාරකයන් විසින් පවසා තිබුණි.

දික්වැල්ලගේ ප්‍රකාශයන් තුළ අසභ්‍ය දේවල්, අපහාස කිරීම් හෝ ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයන්ට බාධා කිරීම් නොමැති බවත් ඔහු විසින් විනෝද ජනක සහ හාස්‍ය දේවල් පමණක් කියන බවත් විචාරකයන් සඳහන් කර තිබුණි.

දික්වැල්ල වරක් එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් පන්දුවට පහර දෙන අවස්ථාවේ ඔහුගේ විමසා සිටියේ “ඔබ ළඟ තියෙන බැට් එක වගේ තවත් වැඩිපුර එකක් නැද්ද” යන්නයි. එවන් ප්‍රකාශවලින් ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට කිසිදු හානියක් නොමැති බවද විචාරකයන් විසින් සඳහන් කර තිබුණි.

නමුත් ඕස්ට්‍රේලියාවේ දී පැවැති සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරගයේ දී ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන් විසින් ඉන්දියානු ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් හට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු නායකයා විසින් සමාව ද අයැද තිබුණි.

Rate this item
(0 votes)