April 16, 2024

“සමාජ මාධ්‍යයටම තෝරගන්න පුළුවන් නම් තේරීම් කමිටුවක් මොකටද?” - අසන්ත ද මෙල් කියපු කතාව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ආසාර්ථක වුවත් ඔහු දිගටම කණ්ඩායමේ රැඳී සිටින්නේ ඇයිදැයි යන්න පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා ඊයේ (21) දිනයේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පිළිතුරු ලබා දුන්නේය.

එහිදී අසන්ත ද මෙල් මහතා පවසා සිටියේ “කුසල් මෙන්ඩිස් බිංදු හතරක් ගැහුවා. මගේ මතයට එයා ලංකාවේ ඉන්න ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේ ක්‍රීඩකයෙක් එක පාරටම එළියට දාන එක සාධාරණ නැහැ. එයා දැන් බිංදු හතරක් ගහලා දැන් එයාට අපි රෙස්ට් එකක් දුන්නා, මොකද අපිට තේරුණා එයාට දැන් පොඩි මානසික රෙස්ට් එකක් ඕන, මොකද එයාගේ ෆෝම් එක දැන් අප්සට් වෙලා තියෙන්නේ. එයා දැන් මානසිකව වැටිලා ඉන්නේ..” යන්නයි.

එහිදී වැඩසටහන මෙහෙය වූ මාධ්‍යවේදියා විසින් විමසා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම කළ ඉල්ලීම මතද එම තීරණය ගත්තේ යන්නයි.

එහිදී අසන්ත ද මෙල් මහතා පවසා සිටියේ “නෑ..නෑ..මෙහෙමනේ සමාජය මාධ්‍යවලින් කරන්නේ ගොඩාක් වෙලාවට එයාලාගේ ප්ලේයර්ස්ලා පුම්බනවා..ඔය ප්ලේයර්ස්ලාට ඒජන්ට්ලා ඉන්නවානේ..ඒ ඒජන්ට්ලා මාධ්‍යයත් අල්ලගෙන අපිට තර්ජනය කරනවා දාන්න කියලා.එයාලාට ඕන විදිහට අපි සිලෙක්ෂන් කරන්න ගියොත් අපි ඕන නැහැ සමාජ මාධ්‍යටම පුළුවන් සිලෙක්ෂන් කරන්න. අපි අසාධාරණ විදිහට බලන්නේ නැහැ.. මට සම්පුර්ණයෙන්ම කියන්න පුළුවන් මට ක්ලබ් එක්ක සම්බන්ධකම්, ප්ලේයර්ස්ලා එක්ක සම්බන්ධකම් නැහැ.. අපි බලන්නේ ලංකාව වෙනුවෙන් ඉන්න කණ්ඩායම” බවයි.

එමෙන්ම කුසල් මෙන්ඩිස් ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙකු බවද පැවසූ තේරීම් කමිටු සභාපතිවරයා පවසා සිටියේ හොඳ ක්‍රීඩකයන් එක්වරම කණ්ඩායමෙන් ඉවත් කළ නොහැකි බවයි. එමෙන්ම කුසල් විවේකයෙන් පසුව නැවත පැමිණ හොඳින් ක්‍රීඩා කරනු ඇතැයිද ඔහු සඳහන් කර සිටියේය.

Rate this item
(0 votes)