April 19, 2024

ප්‍රථම වරට පැවැත් වූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ප්‍රථම ශූරතාවය යාපනය දිනා ගනී

December 17, 2020

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සති ගණනක් පුරාවට පැවැත් වූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ප්‍රථම ශූරතාවය දිනාගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.

ඒ ඊයේ (16) දිනයේදී පැවැති අවසන් තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53කින් පරාජයට පත් කරමිනි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 188ක් රැස් කර ගැනීමට සමත් විය.

එහිදී ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් ශොයිබ් මලික් ලකුණු 43(35)ක්ද, තිසර පෙරේරා 39(14)ක්ද, ධනංජය ද සිල්වා 30(20)ක්ද රැස් කර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ධනංජය ලක්ෂාන් කඩුළු 3ක්ද, මොහොමඩ් අමීර් සහ සහන් ආරච්චිගේ 1ක් කඩුල්ල බැගින්ද දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ මුල් පෙළ කඩුළු ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය අතර ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 135ක් පමණි.

එහිදී ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ ලකුණු 40(17)ක්ද, අසාම් ඛාන් 36(17)ක්ද, සහන් ආරච්චිගේ 17(18)ක්ද ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ශොයිබ් මලික් සහ උස්මන් ශින්වාරි කඩුළු 2 බැගින්ද, සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග 1ක් කඩුල්ල බැගින්ද දවා ගත්තේය.

තරගයේ වීරයා ලෙස ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ශොයිබ් මලික් තේරීපත් විය.

තරඟාවලිය පුරාවට දැක් වූ දස්කම් වෙනුවෙන් තරඟාවලියේ ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග තේරී පත් වෙද්දී, තරඟාවලියේ නැගී එන ක්‍රීඩකයා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නවක ක්‍රීඩක ධනංජය ලක්ෂාන් තේරීපත් විය.

අවසාන තරඟය නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, එම ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් හී විධායක නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියේය.

Rate this item
(0 votes)