April 18, 2024

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා හදිසියේ ම සිය රටට යයි - "තරඟ පරාද වෙන නිසා යනවා"යැයි ප්‍රේක්ෂකයන් කියයි

December 02, 2020

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙන්ම සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ශයිඩ් අෆ්රිඩි නැවත හදිසියේම සිය රට බලා පිටත්ව ගොස් තිබේ.

ට්විටර් සටහනක් තබමින් ශයිඩ් පවසා තිබුණේ නොවැළැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් නැවත තම නිවස බලා පිටවත්ව යන බවයි. එම හදිසි තත්ත්වය පාලනය වූ පසුව ඉක්මණින් නැවත එන බවද අෆ්රිඩි පවසා තිබේ.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මේ වන විට ලංකා ප්‍රීමියර් ලීග් තුළ ක්‍රීඩා කළ සියලු තරඟ පරාජයට පත් වීම නිසා ප්‍රේක්ෂකයන් බොහෝ පිරිසක් විසින් තරඟ පරදිනවාට බයේ අෆ්රිඩි නැවත සිය රට බලා යන බවට ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ අදහස් ප්‍රකාශ කරමින් පවසා තිබේ.

කෙසේ වෙතත් අෆ්රිඩි සිය රටට බලා යෑමට හේතුව ලෙස ඔහුගේ දියණියක් වන අස්මාරා අෆ්රිඩිගේ අසනීප තත්ත්වය හේතුවන්නට ඇති බව වාර්තා වෙයි. 

අස්මාරා අෆ්රිඩි පිළිකාවක් හේතුවෙන් පීඩා විඳි බවට මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණී.

ශයිඩ් නැවත සිය රටට බලා ගොස් පැමිණියත් මෙරට පවතින නිරෝධායන නීතිය යටතේ ඔහුට නැවතත් නිරෝධායනය වීමට සිදුවනු ඇති අතර එම හේතුන් සහ ඔහුගේ හදිසි තත්ත්වය මත නැවත මෙම තරඟාවලියට ඔහු එක්වීම අවිනිශ්චිත වනු ඇත.

ඔහුගේ අඩුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම දැඩිව දැනෙනු ඇති බවද සමහර ප්‍රේක්ෂකයන් විසින් පවසා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 December 2020 19:40