March 28, 2024

“තරඟාවලියකට සුදානම් වෙනවා කියන්නේ කඩේට ගිහින් පාන් වගේ වැඩක් නෙමෙයි” - මාලිංග

November 23, 2020

ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියකට සහභාගිවීම යනු කඩෙන් පාන් ගෙඩියක් මිලදී ගැනීම තරම් සරලව තැකිය හැකි කරුණක් නොවන බවත් මාස ගණනාවක් පුරා පුහුණුවෙන් බැහැරව සිට සැනකින් තරගයකට පැමිණීම කළ නොහැක්කක් බවත් ලසිත් මාලිංග පවසයි.

මෙවර එල්.පී.එල්. තරගාවලියට සහභාගි නොවීමට හේතුව කුමක්දැයි පුවත් පතක් කළ විමසීමකට පිළිතුරු දෙමින් ලසිත් මාලිංග මේ බව ප්‍රකාශ කළේය.

‘සමහරු කියයි අයියෝ ඕක මහ වැඩක්ද, මේ තරම් සෙල්ලම් කරපු කෙනෙක්ට තරගාවලියකට අමුතුවෙන් සූදානම් වෙන්න ඕනෙද කියලා. එහෙම කියන අය හිතන්නේ මේක කඩේට දුවගෙන ගිහින් අම්මට පාන් ගෙඩියක් අරගෙන එනවා වගේ දෙයක් කියල වෙන්න පුළුවන්. ඒත් මාස ගාණක පුහුණුවක් නැතිව නැතිව ඉඳලා මේක කරන්නේ කොහොමද? ගෙදර ජිම් එකේ පුහුණුවීම් කරපු පළියට පන්දු යවන්න බැහැ. මම තරගයකදි යෝකර් එකක් දාන්න ඒ තරගයට කලින් බෝල් 1000ක් විතර දාලා පුහුණු වෙනවා. එහෙම නැතිව යෝකර් එකක් වැටෙන්නේ අහම්බයකින් නොවෙයි. ඒ පුහුණුව නැතිව ඇවිත් එල්.පී.එල්. එකේ යෝකර් එකක් දාගන්න බැරි වුණොත් මේ මිනිස්සුම කියනවා අයි.පී.එල් එකේ නම් හොඳට යෝකර් දාන්න පුළුවන්. මේකෙදි තමයි මෙයාට ඒවා කරන්න බැරි කියලා. මේ කරන හැම දෙයකම තිබෙන ප්‍රායෝගික වටපිටාව බහුතරයකට තේරුම්ගන්න බැහැ’

‘එදා රෑ 12ට අයි.පී.එල් තරගය ගහලා පාන්දර ලංකාවට ඇවිත්, පහුවෙනිදා මෙහේ තියෙන තරගයත් මම ගැහුවා. ඒක කරන්න පුළුවන් ඒ ශාරිරික යෝග්‍යතාව තිබෙද්දි. දැන් මාස 8කින් විතර බෝලයක් දාන්නෙ නැතිව කොහොමද මේක කරන්නේ. අපිට දේවල් කටින් කියන එක ලේසියි. නමුත් දෙයක් කරන කෙනයි ඒ දේ කරන එකේ හැබෑම වටපිටාව, බැරි අමාරුකම් දන්නේ’ යනුවෙන් මාලිංග වැඩිදුරටත් පවසා සිටියේය.

(ඉන්ද්‍රජිත් සුබසිංහ - අරුණ පුවත්පත)

Rate this item
(0 votes)
Last modified on Monday, 23 November 2020 12:41