January 15, 2021

මොහ්සන් ෆක්රිසාඩේ නම් ඉරානයේ ප්‍රමුඛ පෙළේ න්‍යෂ්ටික විද්‍යාඥයා ඊයේ (27) දිනයේ දී ටෙහෙරාන් නුවරදී ඝාතනය කර තිබේ.

ඉරානය විසින් විද්‍යාඥයාගේ ඝාතනය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් ප්‍රතිඥාවක් ලබා දෙමින් ඊශ්‍රායලයට සහ ඇමෙරිකාවට දැඩි තර්ජනයක් ද නිකුත් කර තිබේ.

එහිදී ඉරානයේ එක්සත් ජාතින්ගේ නියෝජිතයා ලෙස කටයුතු කරන අලිරසා මිරියසුෆි විසින් ට්විටර් සමාජජාලයට ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුණේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය තමන්ගේ රටට එරෙහිව ගන්නා ඕනෑම වික්‍රමාන්විත ක්‍රියාමාර්ගයකට එරෙහිව අනතුරු ඇඟවන බවයි.

විශේෂයෙන් එක්සත් ජනපදයේ වත්මන් පරිපාලනයේ ඉතිරි කාලය තුළ ඉරාන ඉස්ලාමීය ජනරජය තම ජනතාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ මෙය කලාපය තුළ ආක්‍රමණයක් සිදු කිරීමට ගත් අසාර්ථක වෑයමක් බවටයි.

ඉරානයේ ශ්‍රේෂ්ඨ නායක අයිතුල්ලා කොමේනිගේ ආරක්ෂක උපදේශකවරයා ලෙස ක්‍රියාකරන හුසේන් ඩෙහාන් විසින් 'අකුණු පහරක්' මෙන් මෙම සිදුවීමට සම්බන්ධ අපරාධකරුවන්ට දඬුවම් ලබාදෙන බවට ප්‍රතිඥාවක්ද ලබා දී තිබේ.

එරට විදේශ අමාත්‍යවරයා වන මොහොමඩ් ජාවඩ් සරීෆ් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරමින් පවසා මෙම රාජ්‍ය ත්‍රස්ත ක්‍රියාව හෙළා දකින ලෙසයි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳව බටහිර ලෝකයේ බොහෝ රටවල් තුළ අවිශ්වාසයක් පවතින අතර ඉරානය ප්‍රකාශ කර සිටින්නේ මෙම න්‍යෂ්ටික වැඩපිළිවෙල සමාකාමී අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක කරන එකක් බවයි.

රහසිගත ඉරාන න්‍යෂ්ටික අවි වැඩසටහනක් පිටුපස ෆක්රිසාඩේ සිටි බව බටහිර බුද්ධි අංශ විශ්වාස කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහි සිය සටන ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඉරානය මත දැඩි පීඩනයක් ඇති කිරීම සඳහා ඇමෙරිකානු රජය නව සම්බාධකයන් පනවමින් සිටින බවට එම මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

මෙම නව සම්බාධක මේ වන විටත් පනවා ඇති අතර ඉරානයේ උත්තරීත නායකයා වන අයතුල්ලා අලි කමේනි විසින් පාලනය කරනු ලබන ඉස්ලාමීය විප්ලවය මොස්ටසාෆාන් පදනමට මේ වන විටත් සම්බාධක පනවා තිබේ.

මෙම පදනමට එරට බුද්ධි අංශ භාර අමාත්‍යවරයා සහ තවත් බොහෝ ඉහළ තනතුරු හොඹවන නිලධාරීන්ද ඇතුළත්ව සිටින බවටද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණි.

ඇමෙරිකානු වත්මන් ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධූර කාලය අවසන් වීමට තවත් මාස 02ක් පමණ තිබියදී 03 වෙනි ලෝක යුද්ධය ආරම්භ කිරීමට සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඔහු විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයන් වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඔහුගේ ආරක්ෂක ප්‍රධානීන් රැස් කොට සාකච්ඡාවක් පවත්වා ඇති බවද සඳහන් වෙයි.

නමුත් ආරක්ෂක ප්‍රධානීන් විසින් ඔහුගේ තීරණය නොගත යුතු දෙයක් බව පවසා ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉරානය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් මුල සිටම අනුගමනය කළ අතර ඉරාන යුද නායකයෙකු ද මෙම වසරේ මුලදී දියත් කළ හමුදා මෙහෙයුමකින් ඝාතනය කළේය.

ඉන් අනතුරුව ඉරානය විසින් ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාරයන් එල්ල කරන ලදී.

මේ සිදුවීමත් සමඟ ලෝකයේ තුළ දැඩි ලෙස 03 වෙනි ලෝක යුද්ධයක ඉඟි පළ වූ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් එය විසඳා ගැනීමට කටයුතු කළේය.

කෙසේ වෙතත් සිය ධූරයෙන් ඉවත් වීමට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරයා රංගනයක නිරත වීමට උත්සහා ගන්න බවට එරට මාධ්‍ය විසින් චෝදනා කර තිබුණි.