April 18, 2024

කැබිනට් මණ්ඩලය අස් වූ කසක්ස්තානයේ තත්ත්වය දරුණු වෙයි

රට පුරා ඇවිලෙන දැවැන්ත විරෝධතා හමුවේ කසක්ස්තාන කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීමට තීරණය කළා.

මහජනතාව මෙලෙස විරෝධතා පවත්වන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව යි.

කසක්ස්තානය තෙල් නිධිවලට ද හිමිකම් ඇති රටක්වන අතර විරෝ්ධතා උත්සන්න වීමට එය ද කරුණක් වී තිබෙනවා.

කසක්ස්තාන ජනාධිපතිවරයා ද ජාතිය අමතමින් පවසා සිටියේ කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස් වීම තමන් පිළිගන්නා බව යි.

කෙසේ වෙතත් ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ කැබිනට් මණ්ඩලයට අස්වන ලෙසට බල කොට ඇත්තේ ද ජනාධිපතිවරයා විසින් බවට යි.

මේ අතර පවතින විරෝධතා මර්ධනය කිරීම එරට පොලීසියට දැඩි අසීරු කාර්යයක් වූවා.

පොලීසිය විරෝධතා වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමග විරෝධතාකරුවන් සහ පොලීස් නිලධාරීන් අතර ගැටුම් ද හටගෙන ඇති බව සඳහන්.

එහි දී කිහිපදෙනෙකු මියගොස් ඇති බව ද පැවසෙනවා.

මේවන විට කසක්ස්තානයේ ප්‍රධාන නගරවල පාලනය විරෝධතාකරුවන් අත පවතින බවත්, එරට විශාලතම නගරයවන අල්මටි නුවර ගුවන් තොටුපොල පවා විරෝධතාකරුවන් අත්පත් කරගෙන ඇති බවත් වාර්තා වනවා.

එමෙන්ම එරට රාජ්‍ය ගොඩනැගිලි මෙන්ම පරිපාලන ගොඩනැගිලි ද විරෝධතාකරුවන් විසින් ගිනිතබා තිබෙනවා.

මේවන විටත් ඇතැම් ගොඩනැගිලි ගිනිගනිමින් පවතින බව වාර්තාවන අතර ඒ අතර එරට රාජ්‍ය රූපවාහිනී සේවයේ ගොඩනැගිල්ල ද පවතින බව සඳහන්.

එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ විරෝධතාකරුවන් පුළුල් දේශපාලන වෙනසක් ඉල්ලා සිටින බව යි.

මෙම තත්ත්වය හමුවේ කසක්ස්තානයේ ප්‍රදේශ රැසකට ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

එහෙත් එම ඇඳිරිනීති තත්ත්වය නොසලකා හැරීමට යි විරෝධතාකරුවන් පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම රට පුරා අන්තර්ජාල බිඳවැටීමක් ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේවන විට පවතින තත්ත්වය මත ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳව ද ගැටළුකාරී බවක් හටගෙන ඇතත්, කුමක් සිදුවුව ද තමන් අගනුවර හැර නොයන බව ඔහු පවසනවා.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හමුවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ තමන්, මිලිටරි සන්ධානයක්වන ආරක්ෂක ගිවිසුම් සංවිධානයේ ආරක්ෂාව පතන බව යි.

මේ අතර කසක්ස්තානයේ තත්ත්වය පාලනය කිරීම සඳහා රුසියානු හමුදාව ද පැමිණ ඇති බව ද වාර්තා වූවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 06 January 2022 13:24