April 25, 2024

යුද උණුසුමක ඉඟි දෙමින් කිම් ජොං-උන් අලුත් අවුරුද්දේ මිසයිලයකින් වැඩ අරඹයි

උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිලයක් නිකුත් කර ඇති බව දකුණු කොරියාව පවසනවා.

අද (05) උදෑසන සිදු වූ මෙම මිසයිල නිකුත් කිරීම මෙම වසරේ (2022) දී උතුරු කොරියාව විසින් සිදු කළ පළමු මිසයිල නිකුත් කිරීම ද වනවා.

උතුරු කොරියානු ඒකාධිපති නායක කිම් ජොං-උන් පසුගිය සතියේ දී ප්‍රකාශ කොට තිබුණේ සිය රටෙහි අවි බලය අඛණ්ඩව ගොඩ නැගීමට තමන් කටයුතු යොදන බව යි.

මෙම මිසයිලය කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ ජපාන මුහුදට පතිත වී ඇති බව යි වාර්තා වන්නේ.

හමුදාව සීරුවෙන්

දකුණු කොරියානු හමුදාව නිවේදනය කළේ මෙම මිසයිලය උතුරු කොරියානු ගොඩබිමෙහි සිට මුහුදට එල්ල කොට ඇති බව යි.

කෙසේ වෙතත් මේ පිළිබඳව උතුරු කොරියාව කිසිදු තහවුරු කිරීමක් මෙතෙක් සිදු කොට නැහැ.

අමෙරිකා එක්සත් ජනපදය සමග එක්ව තමන් මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ද දකුණු කොරියානු හමුදාව ප්‍රකාශ කළා.

ඉදිරියේ දී උතුරු කොරියාව විසින් නිකුත් කළ හැකි මිසයිල පිළිබඳව ද තමන් දැඩි අවධානයෙන් පසුවන බවත් එහි දී අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට තමන් සූදානම් බවත් දකුණු කොරියානු හමුදාව අවධාරණය කරනවා.

ජපානයත් අවධානයෙන්

මෙවන් වාතාවරණයක ජපානය ද මේ පිළිබඳව අදහස් පළ කොට තිබෙනවා.

ජපාන අග්‍රාමාත්‍යවරයා පවසන්නේ පසුගිය වසරේ සිට මේ දක්වා උතුරු කොරියාව දිගින් දිගටම විටින් විට මිසයිල නිකුත් කරමින් සිටින බව යි.

මෙම තත්ත්වය ඉතා කණගාටුදායක බව යි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් පවන්නේ ඇත්තේ උතුරු කොරියාව විසින් නිකුත් කර ඇති මිසයිල ප්‍රමාණය කොපමණදැයි සිය රජය විශ්ලේෂණය කරමින් සිටින බව යි.

අවි බලය පෙන්වන කිම්

මිසයිල අත්හදා බැලීමක් සබ්මැරීනයක සිට සිදු කිරීමට ද උතුරු කොරියාව පසුගිය වසරේ දී පියවර ගනු ලැබුවා.

දිගු දුර බැලස්ටික් මිසයිලයක්වන එය ශබ්දයේ වේගය අභිබවා යා හැකි හෙවත් “හයිපර්සොනික්” කාණ්ඩයේ එකක් බවට යි සැක කෙරෙන්නේ.

එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය සහ කිම් ජොං-උන්ගේ පාලනය අතර සාකච්ඡා 2019 වසරේ දී බිඳ වැටුණා.

ඉන් අනතුරුව එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා ද ඇණහිට ඇති අතර එවන් මොහොතක යි උතුරු කොරියාව මෙලෙස දිගින් දිගටම සිය අවි බලය ලොවට ප්‍රදර්ශනය කරමින් සිටින්නේ.

උතුරු කොරියානු පාලනයත් සමග සාකච්ඡා පැවැත්වීමට වත්මන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කැමැත්ත ප්‍රකාශ කළ ද කිම් ජොං-උන් එයට යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 January 2022 09:44