April 24, 2024

ඉන්දීය ගුවන් අනතුර: යානයට දෙමළ ත්‍රස්තයන් වෙඩි තැබූවේ යැයි පාකිස්තානයට සැකයක් (VIDEO)

December 09, 2021

ඉන්දියාවේ ඉහළම හමුදා නිලය ලෙස සැළකෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර දැරූ ජෙනරල් බිපින් රාවත් මහතා ගමන් ගත් හෙලිකොප්ටර් යානය ඊයේ (08) දහවල් අනතුරට ලක් වුණා.

තමිල්නාඩු ප්‍රාන්තයේ, කූනූර් ප්‍රදේශයේ, නිල්ගිරි කඳුවැටියේ පිහිටි කටේරි නමැති තේ වත්තක් ආශ්‍රිත පෙදෙසකට යි මෙම යානය කඩා වැටී තිබුණේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා, ඔහුගේ බිරිඳ සහ ඔහුගේ කාර්යමණ්ඩලය යානයෙහි ගමන් ගනිමින් සිට තිබුණා.

වෙලින්ටන්හි පිහිටි ආරක්ෂක විද්‍යාලයේ දේශනයක් සඳහා රාවත් මහතා මෙලෙස ගමන් කොට ඇති බව යි වාර්තා වන්නේ.

ඒ අතර ඉහළ පෙලේ ඉන්දීය හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු ද සිටින බව සඳහන්.

මියගිය පිරිස

අනතුර සිදුවන විට හෙලිකොප්ටර් යානය තුළ පුද්ගලයින් 14 දෙනෙකු ගමන්ගෙන ඇති අතර ඉන් 13 දෙනෙකුම මරණයට පත් වූවා.

63 හැවිරිදි ජෙනරල් බිපින් රාවත්, ඔහුගේ බිරිඳවන මධුලිකා රාවත්, රාවත් මහතාගේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ලක්බින්දර් සිං සහ රාවත් මහතාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මියගිය පිරිස අතර වනවා.

දිවි බේරාගැනීමට හැකි වී ඇත්තේ හෙලිකොප්ටරයේ ගමන්ගත් බලගන නියමු, වරුන් සිං හට යි.

ඔහුගේ බරපතළ බවත්, ඔහුගේ සිරුර දැඩි ලෙස පිළිස්සී ඇති බවත් ඉන්දීය පුවත් වාර්තා පෙන්වා දෙනවා.

හෙලිකොප්ටරයට වෙඩි තැබුවාද?

මේ අතර මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවතක් පාකිස්තානය දෙසින් වාර්තා වෙනවා.

ඇතැම් පාකිස්තාන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ රාවත් මහතා ගමන්ගත් හෙලිකොප්ටරයට එල්ල වූ ප්‍රහාරයකින් අනතුරුව එය කඩා වැටී ඇති බවට යි.

“පාකිස්තාන් ඩේලි” පුවත් සේවයේ කතෘ රාජා ෆර්ඛාන් අහ්මඩ් මහතා විසින් පළ කොට ඇති වාර්තාවක සඳහන් වී ඇත්තේ අදාළ හෙලිකොප්ටරය වෙඩි තබා බිම හෙළා ඇති බවට තම පුවත් මූලාශ්‍රයක් සඳහන් කළ බව යි.

තමිල්නාඩුවේ සිටින දෙමළ සටන්කාමීන් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කොට ඇති බව අදාළ පුවත් මූලාශ්‍රය පවසන බව ද එම වාර්තාවේ සඳහන්.

ආන්දෝලනාත්මක වීඩියෝව

මේ අතර ජෙනරල් බිපින් රාවත් මහතා ඇතුළු පිරිස ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටෙන අයුරු බව පවසමින් සමාජ ජාල තුළ වීඩියෝවක් පැතිර යමින් පවතිනවා.

පොළවේ සිට එල්ලවන ප්‍රහාරයකින් හෙලිකොප්ටරයක් උඩුගුවනේ දීම ගිනි ගන්නා අතර එය පොළවට කඩා වැටෙන අයුරු එම වීඩියෝවෙහි දැක්වෙනවා.

හෙලිකොප්ටරය එලෙස අනතුරට ලක්වන අතරතුරේදී “අල්ලාහ් හු අක්බර්” යනුවෙන් පිරිසක් කෑ ගසන අයුරු ද එම විඩියෝව තුළින් ඇසෙනවා.

මෙම වීඩියෝව ඉන්දියාව තුළ දැඩි ලෙස පැතිරෙමින් පවතින පසුබිමක සිය ආරක්ෂක ප්‍රධානියා ප්‍රහාරයකින් මරණයට පත් වූයේ ද යනුවෙන් ජනතාව ප්‍රශ්ණ කොට සිටිනවා.

කෙසේ වෙතත් මේවන විට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ අදාළ වීඩියෝව ඊයේ (08) සිදු වූ අනතුරට සම්බන්ධ එකක් නොවන බවට යි.

එය 2020 වසරේ දී සිරියාවේ දී සිදුවූවක් බවත් කිසියම් පුද්ගලයෙකු මෙය ඊයේ අනතුර බවට සමාජ ජාල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එය පැතිර ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.

අනතුරට හේතුව 

ඊයේ (08) සිදු වූ අනතුරට හේතුව කුමක්දැයි තවමත් අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

අදාළ යානය සුලූර් ගුවන් හමුදා කඳවුරෙන් පිටව ගොස් තිබුණේ පෙරවරු 11.48ට යි.

එය පස්වරු 12.15ට වෙලින්ටන්හි ගොඩබෑමට නියමිතව තිබුණා.

සුලූර් කඳවුරේ ගුවන් පාලක මධ්‍යස්ථානය පවසන්නේ හෙලිකොප්ටරය සමග අවසන්වරට සන්නිවේදන සබඳතා පැවැත්වීමට හැකි වූයේ පස්වරු 12.08ට බව යි.

ඊයේ (08) දහවල් 12.20ට පමණ යානය කඩා වැටී ඇති බව පැවසෙනවා.

Image

ඉන්දීය බලධාරීන් සැක කරන්නේ මීදුම් සහිත කාලගුණය හේතුවෙන් නියමුවන්ට මග නොපෙනීයාම නිසා අනතුර සිදුවන්නට ඇති බවට යි.

කෙසේ වෙතත් ඉන්දීය ගුවන් හමුදාව මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් මේවන විටත් ආරම්භ කොට ඇති බව යි වාර්තා වන්නේ.

මේ අතර යානයේ සුන්බුන් අතර තිබූ එහි “කළු පෙට්ටිය” හෙවත් දත්ත රෙකෝඩරය සොයාගැනීමට හැකි වූ බව ඉන්දීය ආරක්ෂක අංශ පවසනවා.

එහි දත්ත පරීක්ෂා කිරීම හරහා අනතුර සම්බන්ධව වැඩිදුර තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවනු ඇති බවට යි විශ්වාසය පළ වී ඇත්තේ.

Mi-17V5 

මෙලෙස කඩා වැටුණේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් Mi-17V5 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්.

එය නිෂ්පාදනය කර ඇත්තේ රුසියාවේ යි.

මෙම වර්ගයේ හෙලිකොප්ටර් යානයකට මගීන් 24 දෙනෙකු රැගෙන යාමේ හැකියාව තිබෙනවා.

එමෙන්ම කුඩා ප්‍රමාණයේ රථ ද මෙම හෙලිකොප්ටර් යානා යොදාගෙන ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතිනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 December 2021 12:43