March 19, 2024

ඔමික්‍රෝන් ආසාදිතයින් 13ක් එකවර මතුවෙයි!

November 28, 2021

දකුණු අප්‍රිකාවෙහි හමුවූවාට පසු ලොව පළමු වරට ඔමික්‍රෝන් කොවිඩ් 19 ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 13 දෙනෙකු එකවර හඳුණාගෙන තිබෙනවා.

ඒ නෙදර්ලන්තයෙන්.

පසුගිය දින කිහිපය තුළ දකුණු අප්‍රිකාවෙහි සංචාරයෙහි නිරත වූ පිරිස් විශේෂ කොවිඩ් පරීක්ෂාවකට ලක් කිරීමට නෙදර්ලන්තය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එලෙස පරීක්ෂාවට බඳුන් කළ පිරිස අතුරින් 61 දෙනෙකු කොවිඩ් 19 ආසාදිත බවට යි හඳුණාගෙන ඇත්තේ.

වඩාත් භයානක කරුණ වන්නේ අදාළ ආසාදිතයින් 61 දෙනාගෙන් 13 දෙනෙකු ආසාදනය වී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය බවට තහවුරු වී තිබීම යි.

දකුණූ අප්‍රිකානු කලාපයේ රටවල්වලින් පිටත රටක දී ඔමික්‍රෝන් ආසාදිතයින් වැඩිම පිරිසක් එකවර හමු වූ පළමු අවස්ථාව ලෙස යි මෙය සැළකිය හැක්කේ.

මේවන විට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී බවට තහවුරු වී ඇත්තේ 13 දෙනෙකු පමණක් වුවත් එම ප්‍රභේදයෙහි ආසාදිතයින් තවදුරටත් හමුවෙතැයි අපේක්ෂා කරන බව නෙදර්ලන්ත සෞඛ්‍ය අමාත්‍ය හ්‍යුගෝ දි ජොංග් මහතා පවසනවා.

හඳුණාගත් ආසාදිතයින් 61 දෙනා දකුණු අප්‍රිකාවේ සිට පැමිණි, පෙරේදා (26) නෙදර්ලන්තයට ඇතුළු වුණු ගුවන් යානයක ආ පිරිසක් බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

මෙම පිරිස මේවන විට ඇම්ස්ටර්ඩෑම් ගුවන් තොටුපොළ ආසන්නයේ පිහිටි හෝටලයක් තුළ හුදෙකලා කර රඳවා ඇති බව එරටින් ලැබෙන පුවත් වාර්තා සඳහන් කළා.

මේ අතර දකුණූ අප්‍රිකානු කලාපයේ සිට හෝ එම කලාපයේ රටවල් හරහා පැමිණි පුද්ගලයින් සිටියි නම් ඒ බව දන්වා කොවිඩ් පරීක්ෂාවක් කරගන්නා ලෙස නෙදර්ලන්ත සෞඛ්‍ය අමාත්‍ය හ්‍යුගෝ දි ජොංග් මහතා එරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 November 2021 19:08