March 29, 2024

මෝචරි ශීතකරණයේ තිබූ සිරුරට මරණ පරීක්ෂණයේ දී පණ එයි (VIDEO)

November 25, 2021

“මම එයාගේ කම්මුල් අල්ලලා බැලුවා. මට දැණුනු දේ නිසා මම සතුටු වුණා වගේම බියටත් කම්පනයටත් පත් වුණා. එයාගෙ කම්මුල් දෙක රස්නෙයි. මම එතකොටයි දැක්කෙ එයා හුස්ම ගන්න බව”

මෙසේ පවසන්නේ සිය සොයුරාගේ මළ සිරුර හඳුණාගැනීම සඳහා මෘත ශරීරාගාරය වෙත ගිය තරුණියක්.

තම ආදරණීය සොයුරා මරණයට පත්ව ඇති බවට පණිවිඩය ලැබීමෙන් පසුව ඇය එහි ගොස් තිබුණා.

රිය අනතුර

ශ්‍රිකේෂ් කුමාර් 40 හැවිරිදි පුද්ගලයෙකුවන අතර ඔහු වෘත්තීයෙන් විදුලි කාර්මික ශිල්පියෙක්.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි මොරාදබාද් නගරයේ දී නොසිතූ වෙලාවක ඔහු වේගයෙන් ආ යතුරුපැදියක ගැටී තිබුණා.

අවට සිටි පිරිස ඔහුව වහාම රෝහල්ගත කිරීමට පියවර ගත්තත් ඔහුව පරීක්ෂා කර බැලූ වෛද්‍යවරු ප්‍රකාශ කළේ රෝහල වෙත ගෙන එන විටත් කුමාර් මියගොස් ඇති බවට යි.

මරණය

එම මොහොත පිළිබඳව මොරාදබාද් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශිව් සිං මහතා මෙලෙස පවසනවා.

“පාන්දර 3.00ට විතර ලෙඩාව ගෙනාවේ. ඒ මොහොතේම අපේ රෝහලේ හදිසි අනතුරු වෛද්‍ය නිලධාරීතුමා මේ පුද්ගලයාව පරීක්ෂා කළා. ඔහුගේ හදගැස්මක් තිබුණේ නෑ. කොහොම වුණත් වෛද්‍යවරයා තවත් කිහිප වාරයක් ඔහුව පරීක්ෂා කරලා තියෙනවා. ඔහුට පණ ඇති බවට කිසිදු සාක්ෂියක් හමු වී නැහැ”

කුමාර් මරණයට පත්ව ඇති බවට තීරණය කිරීමෙන් අනතුරුව රෝහල් සේවකයන් විසින් මළ සිරුර රෝහලේ පිහිටි මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

අලුයම 4.30ට පමණ සිරුර මෘත ශරීරාගාරයේ ඇති අධිශීතකරණයට ඇතුලු කළ බව යි රෝහල් සේවකයන් අනාවරණය කරන්නේ.

පවුලේ සාමාජිකයින් කැඳවයි

පසු දා පොලීසියෙන් ලද ඇමතුමකින් කුමාර්ගේ පවුලේ සාමාජිකයින්ට දැනගන්නට ලැබී ඇත්තේ ඔහු මියගොස් ඇති බවට වූ හද කම්පා කරවන පුවත යි.

පවුලේ සාමාජිකයින්ට වහාම රෝහල් මෘත ශරීරාගාරය වෙත පැමිණෙන ලෙස පොලීසිය දැනුම් දී ඇත්තේ මළ සිරුර හඳුණාගැනීමට සහ කුමාර්ගේ සිරුර කපා මරණ පරීක්ෂණය කිරීමට කැමැත්ත පළ කිරීමේ ලිපිගොණුවලට අත්සන් තැබීමට යි.

ඒ අනුව එදින දහවල් 11.00ට පමණ කුමාර්ගේ පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකු රෝහල වෙත ගොස් ඇති අතර ඔවුන් මෘත ශරීරාගාරයට ඇතුළු වූ පසු දේහය හඳුණාගැනීමටත්, මරණ පරීක්ෂණයට සූදානම් කිරීම සඳහාත් අධි ශීතකරණයේ තිබූ දේහය පිටතට ගෙන තිබෙනවා.

සොයුරිය දුටු දේ

සිය සොයුරාගේ මළ සිරුර දුටු මධුබාලා ගෞතම් නමැති කුමාර්ගේ සොයුරිය මෘත දේහයේ මුහුණ ස්පර්ශ කර ඇත්තේ දරාගත නොහැකි වියෝ දුක හේතුවෙන්.

කෙසේ වෙතත් සිය අත්ලට දැණුනු දෙයින් ඇය කම්පනයට පත්ව තිබෙනවා.

මළ සිරුරක් ස්වභාවිකව ශීතලවන අතර අධි ශීතකරණයක පැය ගණනක් තැබූ සිරුරක් කොපමණ ශීතල විය යුතු දැයි අමුතුවෙන් කිව යුතු නැහැ.

එහෙත් මධුබාලාට දැනී ඇත්තේ සිය සොයුරාගේ මුහුණ උණුසුම් බව යි.

ඒ අනුව තවදුරටත් විමසිල්ලෙන් බැලීමේ දී ශීතකරණයේ සිට එළියට ගත් සිය සොයුරා හුස්ම ගන්නා බව ද ඇය දැක තිබෙනවා.

එලොව ගොස් මෙලොව ඒම

සිය සොයුරා තවමත් ජීවතුන් අතර සිටින බව දැනගත් වහාම ඇය වෛද්‍යවරු කැඳවීමට යි පියවර ගෙන ඇත්තේ.

වෛද්‍යවරයෙකු පැමිණ කුමාර්ව පරීක්ෂා කරන ආකාරය ඇය සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කිරීමට ද පියවර ගෙන තිබූ අතර කුමාර් හුස්ම ගන්නා ආකාරයත් ඔහුගේ සිරුර සෙළවෙන ආකාරයත් එම වීඩියෝවේ ද දක්නට ලැබෙනවා.

මියගිය බවට තීරණය කිරීමෙන් අනතුරුව කුමාර් පැය 7ක කාලයක් අධි ශීතකරණයේ සිට තිබෙනවා.

තත්ත්වය බරපතළයි

මේවන විට මීරූත් නගරයේ රෝහලකට ඇතුළත් කර ඇති කුමාර් කෝමා තත්ත්වයකින් පසුවන බව යි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

කුමාර් මුහුණ දුන් රිය අනතුරේ දී ඔහුගේ මොළයේ ලේ ගැලීමක් සිදුව ඇති අතර මේ හේතුවෙන් ඔහුගේ තත්ත්වය බරපතළ බව යි වාර්තා වන්නේ.

මේවන විට ඔහු ජීවත්වන්නේ ජීවිතාධාරක යන්ත්‍ර හරහා බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කළා.

පවුල කුපිත වෙයි

මේ අතර ජීවතුන් අතර සිටි කුමාර් මිය ගොස් ඇති බවට සඳහන් කරමින් මෘත ශරීරාගාරයට ඇතුළත් කිරීමේ සිදුවීමට විරුද්ධව ඔහුගේ පවුලේ සාමාජිකයන් මොරාදබාද් රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තුවන බව පැවසෙනවා.

රිය අනතුරින් දිවි බේරුණත් කුමාර් අධි ශීතකරණයේ දී මරණයට පත් වීමට බොහෝ සෙයින් ඉඩ තිබූ බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම කුමාර්ට පණ ඇති බවට හඳුණා නොගෙන සිරුර කපා මරණ පරීක්ෂණය සිදු කළේ නම් කුමක් සිදුවන්නට ඉඩ තිබුණේ දැයි ඔවුන් ප්‍රශ්ණ කරනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

සීතලට නොමැරුණේ ඇයි?

මේ අතර පැය 07ක් පුරා මෙලෙස අධි ශීතකරණයක සිටි පුද්ගලයෙකු ශීතල හේතුවෙන් මිය නොගියේ මන්ද යන පැනයට ද පිළිතුරු ලැබී තිබෙනවා.

අදාළ ශීතකරණයේ තිබූ දෝශයක් හේතුවෙන් කුමාර්ගේ ජීවිතය මෙලෙස බේරී ඇති බව සඳහන්.

නම සඳහන් කිරීමට අකමැති වූ මොරාදබාද් රෝහලේ වෛද්‍යවරයෙකු ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙවැන්නක්.

“අපේ නිර්නායකවලට අනුව පුද්ගලයෙකු මිය ගිය බවට හඳුණාගැනීමෙන් පසු මළ සිරුර අධි ශීතකරණය වෙත යවනවා. සිරුර නරක් නොවෙන්න තමයි එහෙම කරන්නේ. එහි දී සෙල්සියස් අංශක 10ට වඩා අඩු උෂ්ණත්වයක සිරුර ගබඩා කරනවා. කොහොම වුණත් අපේ රෝහලේ තියෙන අධි ශීතකරණයේ පොඩි කාර්මික දෝශයක් තියෙනවා. ඒකට එක දිගට විදුලි බලය ලැබෙන්නෙ නෑ. ඒ නිසා විටින් විට ශීතකරණය ක්‍රියා විරහිත වෙනවා. මං හිතන්නෙ මේ තැනැත්තාගෙ ජීවිතය බේරෙන්න ඇත්තේ ඒ නිසා යි”

මීට පෙර සිදුවීම්

පසුගිය වසරේ (2020) කෙන්යාවෙන් ද මෙවැනිම ආකාරයේ සිදුවීමක් වාර්තා වූවා.

මරණයට පත්ව ඇති බවට එරට කෙරීචෝ ප්‍රදේශයේ රෝහලකින් ප්‍රකාශයට පත් කළ සිරුරක් එම්බාම් කිරීම සඳහා මල්ශාලා සේවකයෙකු සිරුරෙහි පාදයක් කපා ඇති අතර එහි දී මියගොස් ඇති බවට ප්‍රකාශ වූ තැනැත්තා මර හඬ නගමින් නැගිට තිබුණා.

2011 වසරේ දකුණු අප්‍රිකාවේ කේප් නුවර මල් ශාලාවක ද එවැනිම යමක් සිදුව තිබූ අතර එම්බාම් කිරීමට ගෙනැවිත් තිබූ අයෙකු නැගිට කෑ ගැසීමත් සමග අවට සිටි සේවකයින් සහ පිරිස මහත් බියට පත්ව දිව ගිය බව යි වාර්තා වූයේ.

Rate this item
(17 votes)
Last modified on Thursday, 25 November 2021 09:55