April 20, 2024

ඇෆ්ගන් මහා ඛේදවාචකයක් අභියස! ලොව කැළඹූ ත්‍රස්තයන් යළිත් මතුවෙයි

ඇෆ්ගනිස්ථානයේ, කාබුල් අගනුවර හමීඩ් කර්සායි ගුවන්තොටුපොළේ සිදුවූ බෝම්බ ප්‍රහාරය පිටුපස ලෝකයම කළඹමින් සිටින “ISIS (අයි.එස්.)” සටන්කාමීන් සිටින බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරමින් සිටියි.

එරට බලධාරීන් විසින් මෙය තහවුරු කර නොතිබුණත් මෙම ප්‍රහාරය පිටුපස දකුණු අසියානු කලාපයේ ඉස්ලාමීය රාජ්‍ය පිහිටුවීමට අරමුණු කරගෙන සිටින අයි.එස්.අයි.එස් ත්‍රස්තයන්ගේ තවත් සංවිධානයක් වන ඛෝරාසන් (ISIS-K) ත්‍රස්තයන් සිටින බවටයි මේ වන විට තොරතුරු ලැබී තිබෙන්නේ.

මෙම මාරාන්තික බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබුණේ අමෙරිකාව, ජර්මනිය, බ්‍රිතාන්‍ය වැනි රටවල් එක්ව ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් තිබූ අවස්ථාවකයි.

තලේබාන් ත්‍රස්තයන් විසින් ද මෙම රාජ්‍යයන් වෙත දිගින් දිගිටම අනතුරු ඇඟවීම් කරමින් සිටි අතර ඒ නිසාම අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් ඇෆ්ගන් ජනතාවට ගුවන්තොටුපොළෙන් ඉවත් වෙන ලෙසද පවසා තිබුණා.

ඉන්දියානු බුද්ධි අංශ විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද මරාගෙන මැරෙන බොම්බ්කරු  IED (වැඩි දියුණු කළ පුපුරණ ද්‍රව්‍ය) සහිත මරාගෙන මැරෙන ඇඳුමකින් සැරසී සිට ඇති බවයි.

තවත් ප්‍රහාරයන් මාලාවක් සිදුවිය හැකි බවට මේ වන විට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ජනතාවට ආරක්ෂිත ස්ථානයක් කරා යන ලෙසද දැනුම් දී තිබෙනවා.

තලේබාන් ත්‍රස්ත සංවිධානය සහ අයි.එස්.අයි.එස් සංවිධානයන් අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැති අතර ඔවුන් විසින් එකිනෙකා මරාගනිමින් යුද වදිමින් සිටින සංවිධානයන් දෙකකි. 

ඇෆ්ගන් බිඳ වැටී ඇති මොහොතක නැවත වරක් අයි.එස්.අයි.එස් ත්‍රස්තයන් තලේබාන් සංවිධානය සමඟ ගැටුම් ඇති කරගෙන ඇෆ්ගන් අල්ලා ගැනීමේ මෙහෙයුමක නිරත වීමට උත්සාහ කරමින් සිටින බවට ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 August 2021 07:03