April 19, 2024

කාබුල් ගුවන්තොටේ ඛේදවාචකය (සංවේදී දර්ශන සහිතයි)

ඇෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපොලට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් මේවන විට පුද්ගලයින් 40කට වඩා පිරිසක් මරණයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පිරිස අතර කුඩා ළමුන් ද සිටින බව සඳහන්.

එමෙන්ම ප්‍රහාරවලින් 120කට අධික පිරිසක් තුවාළ ලබා තිබෙනවා.

බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී ඇති අතර ගුවන් තොටුපොල ප්‍රහාරයට ලක් වූයේ දින ගණනක් තිස්සේ සිය රට හැර යාමට ඇෆ්ඝන් ජාතිකයින් සිය ගණනක් ගුවන් තොටෙහි පොරකමින් සිටින අතරතුර යි.

විශේෂත්වය වන්නේ අද දින කාබුල් ගුවන් තොටුපොලට ප්‍රහාරයක් එල්ල වීමේ ඉඩ කඩ පවතින බවට අද උදෑසන අමෙරිකානු බුද්ධි අංශ අනතුරු අඟවා තිබුණු පසුබිමක මෙය සිදුවීම යි.

එම නිසා සිය රටවැසියන්ට සහ සිය මිතුරු රටවල්වල වැසියන්ට අමෙරිකාව අනතුරු ඇඟවූයේ ගුවන්තොටුපොල භූමියෙන් වහාම ඉවත්වන ලෙසට යි.

ප්‍රහාරයෙන් අනතුරුව ලෙයින් නැහැවුණු ඇෆ්ඝන් වැසියන් සෞඛ්‍ය අංශ වෙත රැගෙන යන දර්ශන සහ ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ මළ සිරුරු ගොඩගැසී ඇති ආකාරය ඇතුළත් දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය විසින් විකාශය කරනු ලැබූ අතර එම දසුන් හද කම්පා කරවනසුළුයි.

ප්‍රහාරවලින් දෙවැන්න ගුවන්තොටුපොලට ඉතා ආසන්නයේ පිහිටි හෝටලයක් ආශ්‍රිතව සිදුව ඇති අතර මෙම හෝටලයෙහි අමෙරිකාව ඇතුළු බටහිර රටවල්වල රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ එම රටවල්වලට අයත් තවත් පුද්ගලයින් රැඳී සිටි බව වාර්තා වෙනවා.

මියගිය පිරිස අතර අමෙරිකානු ජාතිකයින් ද සිටිතැයි සැක කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මේ අතර අමෙරිකානු ආරක්ෂක අංශ මත පළ කරන්නේ ප්‍රහාර පිටුපස සිටින්නේ ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය හෙවත් අයි.එස්. සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදීන් පිරිසක් බවට යි.

වීඩියෝ පහතින් (සංවේදී දසුන් සහිතයි)

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 August 2021 22:47