March 29, 2024

ඊශ්‍රායලයෙන් නව ඉරාන ජනපති ගැන ලෝකයටම අනතුරු ඇඟවීමක්

ඉරානයේ අග විනිසුරුවරයා එරට ජනාධිපති ධූරය සඳහා ජනතා ඡන්දයෙන් තේරී පත් වී තිබෙනවා. මේ සමඟ ලෝකයේ බලවත් රටවල් කිහිපයකම අවධානයත් මේ නව ජනාධිපතිවරයා වෙත යොමුව තිබෙනවා.

ඊශ්‍රායලයත් මෙම රටවල් අතර සිටින අතර ඔවුන් විසින් නව ජනාධිපතිවරයාට සුබ පතනවා වෙනුවට ලෝකයටම අනතුර ඇඟවීමක් නිකුත් කරලා තියෙනවා. ඒ ඊබ්‍රාහිම් රයිසි ඉරාන ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරගැනීම ගැන ජාත්‍යන්තර කනස්සල්ලයට පත්විය යුතු බව පවසමිනි.

ඊශ්‍රායලයේ විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු වන ලයර් හයත් විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුණේ ඉරානය තුළ පත් වූ ජනාධිපතිවරුන් අතරින් අන්තවාදීම නායකයා ඊබ්‍රාහිම් රයිසි කියලයි. ඔහු විසින් ඉරානය සතුව පවතින න්‍යෂ්ටික ක්‍රියාකාරකම් තවත් ඉහළ දමනු ඇති බවද එම ප්‍රකාශකයා සඳහන් කර සිටියා.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඊබ්‍රාහිම් රයිසි හට විදේශ සම්බාධකද පනවා තිබෙන බව සඳහන් වෙන අතර 80 දශකයේ ඉරානය තුළ ඝාතනය ලක්වූ පන්දහසක් පමණ වන දේශපාලන සිරකරුවන්ගේ මරණවලට ඔහු ඍජුව වගකිව යුතු බවද චෝදනා එල්ල වී තිබෙනවා.

ඉරානය සහ ඊශ්‍රායල යන රටවල් දෙක අතර උණුසුම් තත්ත්වයන් ඇතිව තිබුණත් රටවල් දෙකම පසුව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කටයුතු කර තිබුණා. නමුත් දැන් ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල නිසා රටවල් දෙකම යම් උණුසුම් තත්ත්වයකට නැවත අවතීරණ වෙලා තියෙනවා. 

මෙම උණුසුම් තත්ත්වයට හේතුව වී තිබුණේ ඊශ්‍රායලය විසින් පසුගිය සමය තුළ ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයෙකු ඝාතනය වීම, බලාගාරයකට පහර දීම වැනි කාරණයන් මතයි.  ඊශ්‍රායලය විසින් දිගින් දිගටම චෝදනා කරමින් ඉන්නේ ඉරානය න්‍යෂ්ටික බලය ඉහළ දමමින් ඉන්නේ බලශක්ති කාරණයන් මත නොවන බවත්, එය න්‍යෂ්ටික අවි නිර්මාණය කිරීම සඳහා යැයි පවසමිනි.

ඊශ්‍රායලය විසින් නව ඉරාන ජනාධිපතිවරයා ගැන අනතුරු ඇඟවීම් නිකුත් කරද්දී රුසියාව විසින් ඉරානය සමඟ පවතින සාම්ප්‍රදායික මිත්‍රශීලී බව ප්‍රදර්ශනය කරමින් ජනපති පුටින් විසින් ඊබ්‍රාහිම් රයිසි හට සුබ පැතුම් එක්කර තිබෙනවා.

මීට අමතරව සිරියාව, ඉරාකය, තුර්කිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයින්ද නව ජනාධිපතිවරයා වෙත සුබ පැතුම් එක්කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. එමෙන්ම ගාසා තීරයේ සිටින හමාස් සංවිධානය විසින්ද නව ජනාධිපතිවරයා වෙත සුබ පැතුම් එක්කර තිබු බව සඳහන් වෙනවා.

මේ අතර ලෝකයේ ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධානයන් විසින් ද ඊබ්‍රාහිම් රයිසි විසින් කරන ලද අපරාධ සඳහා දඬුවම් ලබාදිය යුතු යැයි පවසමින් සිටිනවා.

Rate this item
(0 votes)