April 20, 2024

ඕස්ට්‍රේලියාවේ සරණාගත නීතිය කැළඹූ ලාංකීය පවුල

ඕස්ට්‍රේලියාවට අයත් ක්‍රිස්මස් දූපතේ තිබෙන සරණාගත කඳවුරක රැඳවුම් භාරයේ සිටි පවුලක් නිදහස් කරන්නැයි ඕස්ට්‍රේලියානු ජනතාව විසින් කරන ලද විරෝධතා හමුවේ ඕස්ට්‍රේලියානු රජය විසින් එම පවුල ඕස්ට්‍රේලියාව වෙත ගෙනැවිත් තිබෙනවා.

කුඩා දියණියන් දෙදෙනෙක් මවත් පියත් සිටි මෙම පවුල 2019 සිට ක්‍රිස්මස් දූපතේ සරණාගත කඳවුරක රැඳවුම් භාරයේ සිට තිබෙනවා.

ඕස්ට්‍රේලියානු වැසියන් විසින් මෙම පවුල නිදහස් කරන ලෙස එරට රජයට බලපෑම් කර තිබුණේ එම පවුලේ බාලම දියණිය හදිසියේ අසනීප වීම නිසා රෝහල් ගත කිරීමට සිදුවීමත් සමඟයි.

නමුත් මෙම පවුලට ඕස්ට්‍රේලියාව වෙත ඇතුළ වීමට ඉඩ දී තිබෙන්නේ තාවකාලිකව බව වාර්තා වන අතර සරණාගතයන් ලෙස බෝට්ටුවලින් හෝ වෙනත් ආකාරයකට ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් ඇතුළ වීමට උත්සාහ කරන කිසිවෙකුට එරටට පැමිණීමට ඉඩ නොදෙන නීතිය ලිහිල් නොකරන බවද පවසා තිබෙනවා.

මෙම දැඩි තීරණයේ වෙනසක් නොවන නිසා මෙම පවුලේ අනාගතය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බවද සඳහන් වෙනවා.

මෙම පවුලේ වයස අවුරුදු 04ක් වන කුඩා දියණිය නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් පීඩාවට පත්ව සිට ඇති අතර එම රෝගයට හරිහැටි ප්‍රතිකාර නොලැබීම නිසා දියණියට ලේ විෂවීමේ තත්ත්වයක් ඇතිව තිබෙන අතර එම සිදුවීම වාර්තා වීමත් සමඟ ඕස්ට්‍රේලියානු ජනතාවගෙන් එරට රජයට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වුණා.

 ඒ අනුව එම දැරිය සහ මවට ඕස්ට්‍රේලියාව වෙත ඇතුළු වීමට අවසර ලැබී තිබුණු අතර දැරියව පර්ත් නුවර පිහිටි රෝහලක් වෙත ඇතුළත් කර තිබුණා.

මෙම පවුල ඕස්ට්‍රේලියාවේ බිලෝලා හී ජීවත් වීම නිසා ඔවුන්ව 'බිලෝලා' පවුල ලෙස ඕස්ට්‍රේලියානු වැසියන් අතර ප්‍රසිද්ධියට පත්ව තිබුණා.

ඕස්ට්‍රේලියාවේ කොන්සර්වේටිව් රජය විසින් මෙම පවුල සම්බන්ධයෙන් දැඩි මතයක සිටින අතර මෙම පවුල ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් එරට සරණාගත නීතිය සම්බන්ධයෙන් අර්බුදයක් ඇතිවනු ඇති බවද ඔවුන් පවසා තිබුණා. කෙසේ වෙතත් ජනතාවගේ දැඩි පීඩනය හමුවේ නීතිය ලිහිල් කරන්නට සිදු වුණා.

ප්‍රියා සහ නඩේෂලිංගම් මුරුගප්පන් යන යුවල විසින් 2012 සහ 2013 යන කාලය අතරතුරදී ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වී ඇති අතර එහිදී විවාහ වී තිබෙනවා. එහිදී මොවුන් දෙපළ දාව දියණියන් දෙදෙනෙකුද උපත ලබා තිබුණා. එම අතර කාලය තුළදී ඔවුන් විසින් ඕස්ට්‍රේලියානු රජයෙන් සරණාගත භාවය ඉල්ලා තිබුණා.

මෙරට පැවති යුධමය තත්ත්වය හමුවේ ඕස්ට්‍රේලියාව වෙත පලා ආ බව පැවසූ මෙම යුවලගේ සරණාගත භාවය පිළිබඳව අයදුම්පත ඕස්ට්‍රේලියානු රජය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා. එමෙන්ම ඔවුන්ව 2018 වසරේ දී ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට කටයුතු කරන ලෙස පවසා තිබුණු බව සඳහන් වෙනවා.

නමුත් මෙම පිටුවහල් කිරීමේ නිවේදනය එරට අධිකරණය විසින් අත්හිටු වීමත් සමඟ මෙම පවුලේ සිව්දෙනාවම ඕස්ට්‍රේලියාවේ සිට කිලෝ මීටර් 1550ක් පමණ ඈතින් තිබෙන ක්‍රිස්මස් දූපතේ පිහිටි සරණාගත කඳවුරක රැඳවීමට තීරණය කර තිබුණා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 15 June 2021 12:59

Related items