April 19, 2024

ව්ලැද්මියර් පුටින්ගෙන් බ්‍රිතාන්‍ය බුද්ධි අංශ ලොක්කාට අනතුරු ඇඟවීමක්

බ්‍රිතාන්‍යයේ MI6 බුද්ධි අංශ සේවාවේ නව ප්‍රධානියාට රුසියානු ජනපති ව්ලැද්මියර් පුටින් විසින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඒ ඔහු විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධවයි.

බ්‍රිතාන්‍ය නව බුද්ධි අංශ ප්‍රධානියා වන රිචඩ් මොර් විසින් ඔහුගේ කතාවක් අතර රුසියාව දැඩි ලෙස විවේචනය කර තිබුණා. ඔහු එහිදි කියා තිබුණේ රුසියාව පිරිහෙමින් යන බලයක් සහිත රාජ්‍යයක් බවයි. එයට හේතුව ලෙස ඔහු කියා තිබුණේ ක්‍රෙම්ලිනයේ නොසැලකිලිමත් හැසිරීමයි.

එමෙන්ම බුද්ධි අංශ ප්‍රධානියා විසින් සඳහන් කර තිබුණේ රුසියානු විපක්ෂ දේශපාලනික ක්‍රියාකාරී ඇලෙක්සි නවාල්නිට සලකන ආකාරය මෙන්ම මොස්කව්හි පමණක් නොව, නගර ගණනාවක විරෝධතාකරුවන් දහස් ගණනක් විදීවල ගෙන යන සටන් දුටු විට පුටින් පාලනය පිළිබඳව රුසියානු ජනතාව අතෘප්තියකින් සිටින බව පෙනී යන බවයි.

ඇලන් මොර් MI6 ප්‍රධානියා ලෙස පත් වුයේ පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ දීය.

බුද්ධි අංශ ප්‍රධානියාගේ මෙම දැඩි විවේචනාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින්ගෙන් ප්‍රශ්න කර තිබුණා. එහිදී ජනපතිවරයා විසින් පවසා සිටියේ නව බුද්ධි අංශ ප්‍රධානියා නවකයෙක් බැවින් ඔහු අත්දැකීම් ලබාගත යුතු බව තමන් සිතන බවයි. 

එහිදී ජනපතිවරයා බුද්ධි අංශ ප්‍රධානියාට කියා සිටියේ රුසියාවේ බලය පිරිහි යමින් තිබෙනවා නම් රුසියාව ගැන කරදර නොවිය සිය ජීවිතය හොඳින් ගත කරන ලෙසයි. දැනටමත් පිරිහි ඇති බ්‍රිතාන්‍ය - රුසියා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තවත් පිරිහීමට ලක් නොකරන ලෙසද බුද්ධි අංශ ප්‍රධානියාට ජනපති පුටින් අනතුරු ඇඟවීමක් කරමින් පවසා සිටියා.

මෙම පිරිහී ඇති සම්බන්ධතා ගොඩ නඟා ගැනීම සම්බන්ධයෙන් පුටින් අදහස් දක්වමින් පවසා සිටියේ පසුගිය වසරේ දී රුසියාව සහ බ්‍රිතාන්‍ය අතර වෙළෙඳාමේ වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි. එබැවින් මෙම ක්‍රියාවලියන්ට මැදිහත් වීමක් නොකරන ලෙස රිචඩ් මොර් හට පුටින් විසින් අවධාරණය කර සිටියා.

Rate this item
(5 votes)