April 16, 2024

බස්නාහිර පළාතටත් වඩා විශාල කොටසක් ඇන්ටාක්ටිකාවෙන් කැඩී වෙන්වෙයි

දැවැන්ත අයිස් කොටසක් ඇන්ටාක්ටිකා මහාද්වීපයෙන් කැඩී ගොස් ඇති බව විද්‍යාඥයින් පවසනවා.

මේ බව අනාවරණය වී ඇත්තේ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියට අයත් චන්ද්‍රිකාවක් මගින් ලබා ගත් ඡායාරූප හරහා යි.

මෙම දැවැන්ත අයිස් කොටස මේවන විට පෘථිවියෙහි පවතින විශාලතම අයිස් කුට්ටිය ලෙස යි විද්‍යාඥයින් හඳුන්වන්නේ.

A-76 ලෙස හඳුන්වා ඇති මෙම අයිස් කුට්ටිය වර්ග කිලෝමීටර 4320ක් පමණ විශාලත්වයකින් යුතු යි.

මෙහි විශාලත්වය පිළිබඳ තවදුරටත් පැහැදිළි කළ හොත්, මෙරට බස්නාහිර පළාතටත් වඩා මෙම අයිස් කුට්ටිය විශාල බවින් යුතු වනවා.

ඇන්ටාක්ටිකාවෙන් කැඩී වෙන්වුණු මෙම අයිස් කොටස මේවන විට සාගරය දෙසට පාවෙමින් තිබෙනවා.

මෙම පුවත කන වැකීමත් සමග බොහෝ දෙනෙකු අදහස් පළ කොට සිටියේ මෙය ගෝලීය උණුසුම් වීම සහ කාලගුණ විපර්යාස යන සංසිද්ධීන්වල ඍජු ප්‍රතිඵලයක් බවයි.

කෙසේ වෙතත් මේවන විට බොහෝ විද්‍යාඥයින් පවසන්නේ ඇන්ටාක්ටිකා මහාද්වීපයෙන් මෙම දැවැන්ත අයිස් කොටස කැඩී යාම පිටුපස එම සංසිද්ධි නොමැති බවයි.

මෙය ස්වභාවික හේතු නිසා සිදු වූවක් බව ඔවුන් පවසනවා.

විද්‍යාඥයින් අනාවැකි පළ කරන්නේ මෙම A-76 නමැති දැවැන්ත අයිස් කුට්ටිය ඉදිරි කාලයේ දී කොටස් දෙකකට හෝ තුනකට කැඩී යාමට නියමිත බවයි.

එමෙන්ම මෙම කොටස මහාද්වීපයෙන් කැඩීයාමට පෙර කාලයේ ද එය සාගරය මත පාවෙමින් තිබූ නිසා, මෙම සිදුවීම හේතුවෙන් ගෝලීය මුහුදු මට්ටමෙහි ඉහළයාමක් සිදු නොවන බව කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ ගැලැසියර විද්‍යාඥයින් ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් ගෝලීය උණුසුම ඉහළ යාම හමුවේ කැඩී යමින් පවතින සහ දිය වෙමින් පවතින අයිස් කුට්ටි රැසක් ඇන්ටාක්ටිකාව ආශ්‍රිතව මෙන්ම උතුරු ද්‍රැවයේ ද පවතිනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 22 May 2021 00:03