April 25, 2024

ලෝකයම අමාරුවේ දාන CIA රහස් මෙහෙයුමට වැඩ වරදී - රුසියානු සයිබර් නිර්මාණ ශිල්පිනියක් සියල්ල හෙළි කරයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර ඉවුරේ පිහිටි තෙල් ප්‍රවාහන නල පද්ධතිය ක්‍රියාත්මක කරන පරිගණක පද්ධතියට එල්ල වූ හැකර් (Hacker) ප්‍රහාරය පිටුපස සිටින්නේ ඇමෙරිකාවේම මධ්‍යම බුද්ධි එජින්සිය (CIA) බවට ලෝක ප්‍රසිද්ධ සයිබර් ආරක්ෂණ පද්ධතියක් වන කැස්පර්ස්කි නිර්මාතෘවරිය පවසා සිටියි.

ලෝක ප්‍රසිද්ධ පරිගණක සයිබර් ආරක්ෂණ පද්ධතියක් වන කැස්පර්ස්කි ලැබ් හී නිර්මාතෘවරිය මෙන්ම එම ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිනිය වන සහ රුසියාවේ සිටින ධනවත්ම කාන්තාවන් අතරින් කෙනෙකු වන නටාලියා කැස්පර්ස්කි විසින් මෙම හෙළිදරව්ව සිදුකර තිබේ. 

ඇය මේ බව කියා තිබුණේ එරට රූපවාහිනි වැඩසටහනක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඇය එහිදී හෙළි කර තිබුණේ මධ්‍යම බුද්ධි ඒජන්සිය සතුව මේ වන විටත් සයිබර් ආරක්ෂණය සහ හැක් කිරීමේ හැකියාව ඇති අති දක්ෂ කණ්ඩායමක් සේවයේ නිරතව සිටින බවයි. ඔවුන් විසින් විදෙස් ගත කණ්ඩායමක් ලෙස පෙනී සිටිමින් මෙම හැකර් ප්‍රහාරයන් දියත් කරමින් සිටින බවද ඇය එහිදී සඳහන් කර සිටියාය.

ඇය කියා සිටින්නේ මෙම කණ්ඩායම “UMBRAGE” නමින් පෙනී සිටින බවයි. ඔවුන් ඉතාමත් කූඨ ලෙස තමන් හැක් කරන ලද මාර්ගගත ආකාරයන් සැඟවීමේ දක්ෂයන් බවත් ඇය එහිදී වැඩිදුරටත් පවසා සිටියාය.

2017 වසරේ දී නිකුත් කළ ෆිකී ලීක්ස් තොරතුරු අනුවද සී.අයි.ඒ සංවිධානය විසින් රුසියාව ඇතුළු බාහිර හැකර්වරුන්ගෙන් අනවසරයෙන් ඇතුළුවීමේ ක්‍රමවේදයන් ලැයිස්තුගත කර ඇති බවත් ඒවා අධ්‍යයනය කිරීම මඟින් ඔත්තු බැලීම සහ අනන්‍යතාවය සොයා ගත නොහැකි ලෙස සයිබර් ප්‍රහාරය් එල්ල කිරීමේ හැකියා සී.අයි.ඒ සංවිධානයට ලැබෙනු ඇති බවද සඳහන් වී තිබුණි.

මෙම සයිබර් ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ බොහෝ දෙනෙකු මෙය රුසියානු හැකර්වරුන් විසින් සිදු කරන ලද්දක් බවට ප්‍රකාශ කර අතර  ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් පවසා සිටියේ මෙය රුසියාව විසින් සිදු නොකළත් හැකර් ප්‍රහාරය එල්ල කළ පිරිස රුසියාවේ සිටිය හැකි බවයි.

නටාලියා කැස්පර්ස්කි විසින් එහිදී මෙම චෝදනාවන් ප්‍රතික්ෂේප කර තිබුණු අතර ඇය කියා සිටියේ ඇමෙරිකානු රහස් සේවයේ සිටින මෙම හැකර්වරුන් රුසියාව, උතුරු කොරියාව, චීනය සහ ඉරානයේ අය මෙන් පෙනී සිටින බවයි. මෙම හේතුව නිසාම මෙය රුසියාව විසින් හෝ වෙනත් රටක් විසින් සිදු කළ බවට පැහැදිළිව පෙන්වා දීමට හැකි අවස්ථාවන් නොමැති බවත් ඇය වැඩිදුරටත් පවසා තිබුණි.

තෙල් නළ පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරය ඉවත් කරගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක් පමණ වටිනා අන්තර්ජාල මුදල් ඒකකය වන ක්‍රිප්ටෝකරන්සි ගෙවා ඇති බවත් වාර්තා වෙයි.

Rate this item
(0 votes)