April 18, 2024

කොරෝනාවෙන් බැට කන ඉන්දියාව සුළි කණාටුවක් වනසා දමයි - ප්‍රාන්ත 05කට හදිසි කණ්ඩායම් කැඳවයි

ඉන්දියාවට බලපෑ ඇති ටෝක්ටේ සූළි කණාටුව හේතුවෙන් එරට ප්‍රාන්ත 05ක් තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එම ප්‍රාන්ත වෙත ජාතික ආපදා ප්‍රතිචාර බලකාය මේ වන විටත් යවා ඇති බව සඳහන් වෙයි.

එළැඹෙන අඟහරුවාදා දිනයේ දී ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වෙරළ දෙසින් ඇතුළු වෙතැයි අපේක්ෂා කරන මෙම සුළි සුළං තත්ත්වය පැය 24ක් තුළ කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව සඳහන් වෙයි.

කේරළ, කර්ණාටක, තමිල්නාඩු, ගුජරාට් සහ මහාරාෂ්ට්‍ර යන ප්‍රාන්තයන් වෙත මේ වන විට  ජාතික ආපදා ප්‍රතිචාර බලකා කණ්ඩායම් 50ක් පමණ යවා ඇති බව සඳහන් වෙයි. මෙම ප්‍රාන්ත බොහෝමයක් දෙවෙනි කොරෝනා රැල්ලෙන් දැඩිව පීඩාවට පත්ව ඇති ප්‍රාන්තයන්ද වෙයි.

කේරළ, කර්නාටක සහ ගෝවා යන ප්‍රදේශවල මේ වන විටත් ගංවතුර සහ නායයෑම් තත්ත්වයන් වාර්තා වෙමින් ඇති බවද ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ. එමෙන්ම සුළි කුණාටුව තමිල්නාඩුවේ සහ රාජස්ථානයේ ද විවිධ තීව්‍රතාවයකින් යුත් වර්ෂාව ඇති කරමින් සිටියි.

මේ වන විටත් ධීවරයන්ට සහ නාවික කටයුතු කරන පිරිස් හට සාගරයට නොයන ලෙස පවසා ඇති අතර සාගරය රළු වීමක් අපේක්ෂා කරන බව ඉන්දීයානු කාලගුණ විද්‍යාඥයින් සඳහන් කරයි

සුළි සුළං තත්ත්වය ඉන්දියානු බටහිර වෙරළ තීරයට ඇතුළු වන අවස්ථාවේ එයට මුහුණ දීම සඳහා ඉන්දියානු නාවික හමුදාවේ නැව් ගුවන් යානා, හෙලිකොප්ටර්, කිමිදුම් සහ ආපදා සහන කණ්ඩායම් සුදානම් කර ඇතැයි ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ නියෝජිතයෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 May 2021 10:19