April 20, 2024

ඉන්දියාවට එරෙහි ගුවන් තහනම ඕස්ට්‍රේලියාව හකුලා ගනී - මහජන කෝපයට අගමැති බිය වෙයි

ඕස්ට්‍රේලියාව විසින් ඉන්දියාවට එරෙහිව මැයි මස 15 වැනිදා දක්වා පනවා තිබූ දේශසීමා තහනම හකුලා ගැනීමට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කටයුතු කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට දිගින් දිගටම ඕස්ට්‍රේලියානු ජාතිකයන්ගෙන් එල්ල වූ චෝදනා සහ බලපෑම් මත මෙය මෙලෙස ඉවත් කරගන්නට ඇතැයි සඳහන් වෙයි.

ඒ අනුව ඉන්දියාවේ සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයන් වෙත නැවත ඕස්ට්‍රේලියාවට පැමිණීමට එරෙහිව පනවා තිබූ තහනම මෙයින් ඉවත් වෙන අතර ඔවුන්ට නැවත ඕස්ට්‍රේලියාව යෑමට අවස්ථාව ලැබෙනු ඇත.

මීට පෙර තහනම පනවා ඇති අවස්ථාවේ ඉන්දියාවේ සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු නැවත ඕස්ට්‍රේලියාවට පැමිණියහොත් එම පුද්ගලයාට එරෙහිව දැඩි දඩයක් හෝ දිර්ඝ සිර දඬුවමක් ලබාදීමට හැකිවන පරිදි නීතියක් සකසා තිබුණි.

මේ වන විට අවදානමට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයන් 900 දෙනෙකු නැවත සිය රටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවද ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යරයා අද (07) දිනයේ දී ප්‍රකාශයට පත් කළේය.

මෙලෙස නැවත ගෙන එන සියලු දෙනා හොවාර්ඩ් ස්ප්‍රින්ග්ස් නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යන අතර එහිදී නිරෝධායනයට ලක් කිරීමට නියමිත බව සඳහන් වෙයි. එමෙන්ම එම නිරෝධායන මධ්‍යස්ථානයේ ඇඳන් සංඛ්‍යාව 2000ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඕස්ට්‍රේලියාව මුලින් මෙම දේශ සීමා තහනම සාධාරණීකරණය කළේ ඉන්දියාවෙන් පැමිණෙන අය තුළ දක්නට ලැබෙන ඉහළ ආසාදන අනුපාතය නිරෝධායන පද්ධතියට පවා තර්ජනයක් යැයි පවසමිනි. අග්‍රමාත්‍යවරයා විසින් එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ නිරෝධායන ක්‍රියාවලිය කලමණකාරණය කර ගැනීම සඳහා මෙම ගුවන් ගමන් තහනම පැනවූ බවයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය කල් දැමීමෙන් පසුව නැවත සිය රටට යෑමට නොහැකිව සිටි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ද නැවත ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සඳහා කටයුතු සිදු කරමින් පවතින බවද වාර්තා වෙයි.

Rate this item
(0 votes)