April 20, 2024

කොරෝනා වසංගතය පැත්තකට විසි වෙයි : තමිල්නාඩුව උණුසුම් වෙයි - ජයලලිතාගේ රුව දුටු තැන වනසයි (VIDEO)

ඉන්දියා තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය නොතකමින් එරට දේශපාලන ගැටුම් ඉහළ යමින් ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙවර ඉන්දියානු ප්‍රාන්ත මැතිවරණයෙන් තමිල්නාඩුවේ ඓතිහාසික ජයක් ලබා ගත් ද්‍රවිඩ මුන්නෙත්‍රා කසගම් (DMK) පක්ෂ සාමාජිකයන් විසින් හිටපු මහ ඇමතිනිය වූ ජයරාම් ජයලලිතා ඕල් ඉන්ඩියා අන්නා ද්‍රවිඩ මුන්නෙත්‍රා කසගම් (AIADMK) පක්ෂයේ සාමාජිකයන්ගේ වෙළෙඳසැල් හා පක්ෂ කාර්යාල වෙත පහර දෙමින් සිටින බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

ජයලලිතා හෙවත් “අම්මා”ගේ රුව සහිත ස්ථානයන් ඇතුළු “අම්මා” නමින් ඇති වෙළෙඳසැල්වලට ජයග්‍රහී පක්ෂයේ සාමාජිකයන් විසින් මෙලෙස පහර දී තිබුණි.

මෙහිදී තමිල්නාඩුවේ ප්‍රසිද්ධ ආපනශාලාවක් වන “අම්මා කැන්ටීන්” වෙත මැර ප්‍රහාරයක් එල්ල වෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මාධ්‍ය වෙතින් වාර්තා කර තිබුණු අතර එහි සේවකයින් කිසිවක් කර කියාගත නොහැකිව සිටින ආකාරයද එම වීඩියෝවේ දැක්වෙයි.

මෙම පහර දීම සිදු කළ පුද්ගලයින් දෙදෙනාව සිය පක්ෂයෙන් නෙරපා හැරි බවත්, ඔවුන් හට පක්ෂයේ කිසිදු තනතුරක් නොමැති බවත් ඔවුන් සාමාන්‍ය සාමාජිකයන් දෙදෙනෙකු පමණක් බවත් ඩී.එම්.කේ පක්ෂය ප්‍රකාශයක් නිකුත් කරමින් මාධ්‍ය වෙත පවසා ඇති අතර පහර දීම සිදු කළ පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් එම පක්ෂය විසින්ම පොලීසිය වෙත පැමිණිල්ලක් දමා තිබේ.

එම පැමිණිල්ල අනුව මේ වන විටත් එම පුද්ගලයින් දෙදෙනාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.

ඩී.එම්.කේ පක්ෂයේ මහ ලේකම්වරයාගේ නියෝගයක් පරිදි එම ආපනශාලාවේ කඩා බිඳ දැමූ සියල්ල නැවත සකස් කිරීමටද කටයුතු කරන බවද එම පක්ෂය විසින් සඳහන් කර තිබේ.

මේ වන විට බටහිර බෙංගාලය තුළද ගැටුම් ඇතිව ඇති අතර එහිදී පුද්ගලයින් 12 දෙනෙකු පමණ මියගොස් ඇති බවත් වාර්තාවෙයි.

පහරදීම සිදු කළ අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්,

Rate this item
(0 votes)