April 25, 2024

ඡන්දයෙන් පැරදුණු මෝදිගේ පක්ෂ කාර්යාලවලට බෝම්බ ප්‍රහාර

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නායකත්වය දරණ භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්ත මැතිවරණයෙන් බෙංගාලය පරාජයට පත්වීමත් සමඟ එම පක්ෂයේ ආධාරකරුවන් හට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

බෙංගාලයේ භට්පාරා හි ගොෂ්පාරා පාරේ පිහිටි වෙළෙඳ සැල් විශාල ප්‍රමාණයකට මෙලෙස හානි සිදුකර ඇති අතර නිවෙස්වල සාදන ලද බොරතෙල් බෝම්බ ප්‍රහාරයන් 18ක් පමණ එල්ල කර ඇති බවද වාර්තා වෙයි.

එම ප්‍රදේශයේ සිටින සියලු දෙනා භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් බව දන්නා බැවින් බෙංගාල ප්‍රාන්ත මැතිවරණය දිනූ ත්‍රිණාමූල් කොංග්‍රස් පාක්ෂිකයන් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බවද අගතියට පත් වෙළෙඳසැල් හිමියන් ප්‍රකාශ කර තිබුණි.

නමුත් ත්‍රිණාමූල් කොංග්‍රස් පක්ෂය විසින් චෝදනා කරන්නේ මෙම ප්‍රහාරය පිටුපස තමන්ගේ පක්ෂයේ සාමාජිකයන් නොසිටින බවත් මෙය භාරතීය ජනතා පක්ෂයේ අභ්‍යන්තර කුමන්ත්‍රණයකින් කරන ලද ප්‍රහාරයක් බවයි.

මෙම සිදුවීම සම්බන්ධ භාරතීය ජනතා පක්ෂය සිය විරෝධය පළකරමින් හෙට (05) දිනයේ දී ඉන්දියාව පුරාවටම සාමකාමී විරෝධතාවයක්ද කිරීමට නියමිතව තිබෙන අතර අද (04) දිනයේ දී භාරතීය ජනතා පක්ෂයේ ජාතික සභාපති ජේ. පී. නඩාද බෙංගාලයට පැමිණීමට නියමිත ඇති බවත් සඳහන් වෙයි. 

කෙසේ වෙතත් සිදුවීම වූ ප්‍රදේශයේ ත්‍රිණාමූල් කොංග්‍රස් පක්ෂයේ සභාපතිවරයා විසින් සඳහන් කර තිබුණේ තම පක්ෂය ප‍්‍රචණ්ඩත්වය විශ්වාස නොකර බවයි. සිය පක්ෂය කිසිදු ප‍්‍රකෝප කිරීමක් සිදු නොකර ඇති බවට පවසන ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ එය භාරතීය ජනතා පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් බවයි. 

භාරතීය ජනතා පක්ෂය විවිධ පොරොන්දු සහිතව පිටතින් බොහෝ දෙනෙකු ගෙනැවිත් ඇති බවත් මෙම සිදුවීමට සම්බන්ධ වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බවත් සඳහන් කළේය. තම පක්ෂයට බෙංගාලයේ සාමය පත්වාගෙන යෑමට අවශ්‍ය බවද ඔහු මාධ්‍ය වෙත පවසා තිබුණි.

භාරතීය ජනතා පක්ෂයේ මහා ලේකම්වරයා විසින්ද මෙම සිදුවීම සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර ඔහු එහිදි සඳහන් කර සිටියේ ටී.එම්.සී මැරයන් සහ කම්කරුවන් විසින් තමන්ගේ පක්ෂයේ ජයග්‍රහණය සමරා නිවෙස් සරසන අතර භාරතීය ජනතා පක්ෂයේ ජනතාවගේ නිවෙස් විනාශ කරමින් සිටින බවයි. එමෙන්ම පක්ෂ කාර්යාලවලට පහරදී එහි බඩු භාණ්ඩ ද සොරකම් කරගෙන ගොස් ඇති බවටද ඔහු විසින් චෝදනා එල්ල කරමින් සිටියි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මෙම පහරදීම්වලින් භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් 09 දෙනෙකුට පමණ දිවි අහිමිව ඇති බවයි.

Rate this item
(0 votes)