April 25, 2024

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කළ මිනසෝටාවලදී තවත් කළු ජාතික තරුණයෙකුට වෙඩි තබයි - ඇමෙරිකාව උණුසුම් වෙයි

ඇමෙරිකාව උණුසුම් කළ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් අප්‍රිකානු-ඇමෙරිකානු ජාතිකයාගේ මරණයේ නඩු විභාගය අවසන් වීමටත් මත්තෙන් මිනසෝටා පොලීසිය විසින් තවත් කළු ජාතික තරුණයෙකු හට වෙඩි තබා තිබේ.

අවු.20ක් පමණ වන ඩොන්ටේ ව්රයිට් නම් තරුණයාට මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ.

ඔහුව මිනසෝටා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු පලා යන්නට උත්සාහ කරන අතර එහිදී එක් නිලධාරියෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.

පොලීසිය විසින් පවසා ඇත්තේ සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු නිලධාරීන් තල්ලු කර සිය වාහනයෙන් පලා යන්නට උත්සාහ කළ බවත්, එහිදී එක් නිලධාරියෙකු විසින් විදුලි ආරෝපණ ප්‍රහාරයක් අදාළ සැකකරුට එල්ල කරන්නට උත්සාහ කර ඇති බවත්, නමුත් එම නිලධාරියා විදුලි ආරෝපිත අවිය වෙනුවට සිය ගිනි අවිය කලබලයෙන් ගෙන ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

මෙම වෙඩි පහරින් එම තරුණයා මිය ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීමත් සමඟ ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය නිසා කැළඹී සිටි මිනසෝටා ප්‍රාන්තය තුළ යළිත් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශාල පිරිසක් මිනසෝටා පොලිස් මුලස්ථානය වෙත රැස්ව මිය ගිය තරුණයාගේ නම කියමින් දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කර තිබු අතර උද්ඝෝෂකයන් විසින් පොලීසිය වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇතැයිද වාර්තා වෙයි.

පොලීසිය විසින් උද්ඝෝෂකයන් පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටද කටයුතු කර තිබුණු බවත් වාර්තා වෙයි.

කෙසේ වෙතත් උද්ඝෝෂණය අතරතුර දී පොලිස් මුලස්ථානය අවට ඇති වෙළෙඳ සැල් 20ක් පමණ කඩා බිඳ දමා භාණ්ඩ සොරගෙන ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ වීඩියෝ දර්ශන මිනසෝටා පොලීසිය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

අදාළ වෙඩි තැබීම් සිදුවීමේ වීඩියෝ දර්ශනය පහතින්,

Rate this item
(0 votes)