April 19, 2024

අෆ්රිඩිට වෙඩි ප්‍රහාරයක්! බිරිඳත් දරුවන් තිදෙනාත් මිය යයි

වයඹදිග පාකිස්තානයේ ස්වැට් නිම්නයේ සිට අගනුවර වන ඉස්ලාමාබාද් දක්වා ගමන් කරමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් පාකිස්ථානයේ ත්‍රස්ත විරෝධී අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයෙකු සහ ඔහුගේ පවුලේ පිරිස ඝාතනය කර ඇති බව ඉස්ලාමාබාද් පොලීසිය ප්‍රකාශ කර තිබේ.

මෙලෙස ඝාතනය වී තිබුණේ විනිසුරු අෆ්තබ් අහමඩ් අෆ්රිඩි සහ ඔහුගේ පවුලේ පිරිසයි.

මෙම ප්‍රහාරයෙන් අෆ්රිඩි, ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා මිය ගිය බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. එමෙන්ම ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනාද බරපතළ තුවාල ලබා ඇති බවට වාර්තා වෙයි.

අෆ්රිඩි මාස දෙකකට පෙර ස්වැට්හි ත්‍රස්ත විරෝධී අධිකරණයට අනුයුක්ත කර තිබුණි. 

ස්වැට් ප්‍රදේශය කලක් තලේබාන්වරුන්ගේ පාලන ප්‍රදේශයක් වූ අතර ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටීම නිසා අධ්‍යාපන ක්‍රියාකාරිනියක වන මලාලා යූසුෆ්සායිට  තලේබාන් සංවිධානය විසින් වෙඩි තබන ලද්දේ ද එම ප්‍රදේශයේ දීය.

පාකිස්තානයේ හමුදාව 2009 දී තලේබාන්වරුන් ප්‍රදේශයෙන් පලවා හැරියේය.

පාකිස්තානයේ ත්‍රස්ත විරෝධී අධිකරණය පිහිටුවන ලද්දේ ත්‍රස්තවාදීන්ට මුදල් යෙදවීමේ සිට කැරලිකරුවන්ට එරෙහිව නඩු පැවරීම දක්වා වූ නඩු විභාග කිරීම සඳහා ය. 

නමුත් එරට දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ රටේ පාලකයන් ත්‍රස්ත විරෝධී අධිකරණය හරහා ආණ්ඩු විරෝධීන්ව මර්දනය කිරීමටද උත්සාහ කරන බවයි.

ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් මෙතෙක් බාර ගෙන නොමැති බව වාර්තා වෙයි.

Rate this item
(2 votes)
Last modified on Monday, 05 April 2021 22:32