March 29, 2024

මුහුණ ආවරණය වන ඇඳුම් නිසා ස්විස්ලන්තයේ උණුසුම් තත්ත්වයක්

ස්විස්ලන්තයේ මතභේදාත්මක ජනමත විචාරණයකින් පසුව මුස්ලිම් කාන්තාවන් විසින් පැළඳ සිටින බුර්කා හෝ නිකාබ් ඇතුළු ප්‍රසිද්ධියේ මුහුණු ආවරණ තහනම් කිරීමට බහුතරයකගේ කැමැත්ත හිමිව ඇති බවට පෙනී ගොස් තිබේ.

මෙම ජනමත විචාරණයේ ප්‍රතිඵලයන් අනුව අති බහුතරයක් මෙම ඇඳුම්වලට සිය විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති අතර එම අගය සියයට 52කට වඩා වැඩි විය හැකි බවද සඳහන් වෙයි.

දක්ෂිණාංශික ස්විට්සර්ලන්ත මහජන පක්ෂය (එස්වීපී) විසින් ඊයේ (07) දිනයේ පැවැති ජනමත විචාරණයේ ප්‍රතිඵල ඉදිරිපත් කරමින් පවසා තිබුණේ අන්තවාදය වහාම නැවැත්විය යුතු බවයි.

ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛ පෙළේ ඉස්ලාමීය කණ්ඩායමක් පැවසුවේ එය මුස්ලිම්වරුන්ට අඳුරු දිනයක් බවයි.

ස්විට්සර්ලන්ත රජය මෙම තහනමට එරෙහිව තර්ක ඉදිරිපත් කර තිබුණේ කාන්තාවන් අඳින පළඳින දේ නියම කිරීම රජයකට නොහැකි බවට ප්‍රකාශ කරමිනි.

ස්විස්ලන්තයේ ලුසර්න් විශ්ව විද්‍යාලයේ පර්යේෂණයන්ට අනුව, ස්විට්සර්ලන්තයේ කිසිවෙකු පාහේ බුර්කාවක් පැළඳ නොසිටින අතර කාන්තාවන් 30 ක් පමණ නිකාබ් පැළඳ සිටී. 

මිලියන 8.6 ක ජනගහනයක් සිටින ස්විට්සර්ලන්තයේ ජනගහනයෙන් 5% ක් පමණ මුස්ලිම් ජාතිකයින් වන අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් තුර්කිය, බොස්නියාව සහ කොසෝවෝ යන රටවලින් පැමිණි අය වෙති.

Rate this item
(0 votes)