April 24, 2024

රටේ තරුණයන් හට යුද පුහුණුව දෙන රටවල් මෙන්න

වයස අවුරුදු 18 ඉක්මවූ සියළුම පුද්ගලයන්ට හමුදා පුහුණුව ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන බවට අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පැවසීමත් සමඟ සමාජ මාධ්‍ය තුළ හමුදා පුහුණුව ලබා දීම පිළිබඳව මතභේදාත්මක කතාබහක් නිර්මාණය වී තිබේ.

මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය සරත් වීරසේකර මහතා මෙම යෝජනාව ගෙන ඒමට හේතුව ලෙස සඳහන් කර තිබුණේ විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණින් බවයි. එමෙන්ම ඒ මහතා විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ලෝකයේ බොහෝ රටවල් ප්‍රමාණයක මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන බවත් එමඟින් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇති බවත්ය.

ලෝකයේ රටවල් කිහිපයකම සිය රට තුළ ජීවත් වන තරුණයන් හට හමුදා පුහුණුව ලබාදෙන අතර එම පුහුණුව ලබා දීමට ඔවුන් විවිධ අරමුණු ඇතිකරගෙන තිබේ. හමුදා පුහුණුව ලබා දෙන රටවල් අතරින් විශේෂ රටවල් කිහිපයක් පහතින් දැක්වෙයි.

දකුණු කොරියාව

උතුරු කොරියාව සමඟ ඉතාමත් තියුණු දේශපාලිනක අර්බුදයක සිටින දකුණු කොරියාව විසින් සිය රට තුළ සිටින හැකියාව ඇති සියලුම තරුණයන් හට යුද පුහුණුව අනිවාර්ය කර තිබේ. මෙහිදී තරුණයන් හට එරට යුද හමුදාව තුළ මාස 21 සේවා කාලයක්ද හෝ නාවික හමුදාවේ මාස 23ක කාලයක්ද හෝ ගුවන් හමුදාවේ මාස 24 කාලයක් ගත කළ යුතුව ඇත. 

ඊට අමතරව කොරියානු පොලිස් සේවය, වෙරළාරක්ෂක බලකාය, ගිනි නිවීමේ හමුදා ඒකකය හෝ නැතිනම් රජයේ දෙපාර්තුමේන්තුවක හෝ විකල්පයක් ලෙස සේවය කළ යුතුව ඇත.

මෙහිදී මෙම සේවයෙන් නිදහස් කර ඇත්තේ රටට කීර්තියක් දිනා දෙන අය පමණයි. උදාහරණයක් ලෙස ඔලිම්පික් හෝ ආසියානු මළල ක්‍රීඩා තරඟාවලියකදී පදක්කමක් දිනා තිබීම පෙන්වා දිය හැකිය. එමෙන්ම ජාතික කණ්ඩායම සිට සිය තරග ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් ඔවුනටද හමුදා සේවයට එක්වීමට සිදුවෙයි.

උතුරු කොරියාව

ලෝකයේ දිර්ඝතම හමුදා පුහුණු කාලය ලබා දී ඇති රට වන්නේ උතුරු කොරියාව වන අතර පිරිමි අයවලුන් සඳහා වසර 11ක කාලයක්ද, කාන්තාවන් සඳහා වසර 07ක කාලයක් ද අනිවාර්ය කර තිබේ.

එරිත්‍රියාව

සිය රටේ තරුණ තරුණියන්ට හමුදා සේවය අනිවාර්ය කර ඇති තවත් රටක් ලෙස එරිත්‍රියාව ද නම් කළ හැකිය. මාස 18ක හමුදා සේවා කාලයක් එරට තරුණ තරුණියන් සම්පුර්ණ කළ යුතු අතර විටෙක එම කාල සීමාව දිර්ඝ විය හැකි අතර තවත් විටෙක දින නියමයක් නොමැතිව කල් යන අවස්ථාවන්ද ඇත.

ලෝක මානව හිමිකම් සංවිධානයන්වලින්ද එරට හමුදා සේවයට චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් පවසා සිටින්නේ ශ්‍රමය ලබා ගැනීම සඳහා බලහත්කාරයෙන් සේවයේ යෙදවීමක් ලෙසයි.

එරට බොහෝ තරුණ පිරිසක් එරටින් පලා යන බව වාර්තා වන අතර එයට හේතුව වන්නේ ද මෙම හමුදා සේවය බවට වාර්තා වෙයි.

ස්විස්ලන්තය

වයස අවුරුදු 18 සහ 34 අතර පිරිමි පුද්ගලයින් සඳහා ස්විස්ලන්තයේ හමුදා සේවය අනිවාර්ය කර තිබේ.  මුලික සේවා කාලය සති 21ක් වන අතර ඊට අමතවර වසරක පුහුණු කාලයක් ද ලබා දෙන බවට වාර්තා වෙයි.

මෙලෙස හමුදාවට බඳවා ගැනීමට එරට දැඩි විරෝධයක්ද එල්ල වූ අතර ජනමත විචාරණයන් පවා පවත්වා තිබේ. 

තම හෘද සාක්ෂියට එකඟ වන ඕනෑම කෙනෙකුට එරට හමුදා සේවයට එක්විය හැකි අතර කාන්තාවන් සඳහා හමුදා සේවය අනිවාර්ය නොකර තිබුණත් සිය කැමැත්ත පරිදි එම සේවයට එක් විය හැකි බව සඳහන් වෙයි.

බ්‍රසීලය

බ්‍රසීලයද 18 සම්පුර්ණ වූ පසුව පිරිමි ළමුන් හට හමුදා සේවය අනිවාර්ය කර ඇත. එම කාලය මාස 10 සිට වසරක් දක්වා විය හැකි බව සඳහන් වෙයි. සෞඛ්‍ය හේතුන් මත පමණක් හමුදා සේවයෙන් බැහැර විය හැකි බව සඳහන් වන අතර විශ්ව විද්‍යාල තුළ උසස් අධ්‍යාපනය ලබාගන්නේ නම් හමුදා සේවය ප්‍රමාද කළ හැකි බව සඳහන් වෙයි.

මෙහිදී විශේෂ යෝග්‍යතා පරික්ෂණයක් ද පවත්වන බව සඳහන් වෙයි. දුප්පත් කමින් බැට කන බ්‍රසීලය තුළ හමුදා සේවය තරුණයන්ට වඩා අස්වැසිල්ලක් වී තිබෙන අතර වැටුපක් හිමි වීමත්, ආහාර පාන ලැබීමත් සහ හමුදා බැරැක්ක ලැබීමත් මත බොහෝ දෙනා හමුදා සේවයට එක්වෙන බව සඳහන් වෙයි.

ඊශ්‍රායලය

පිරිමින් හා කාන්තාවන් හට ඊශ්‍රායලයේ හමුදා සේවය අනිවාර්ය වේ. පිරිමින් ඊශ්‍රායල ආරක්ෂක බළකායේ (අයිඩීඑෆ්) වසර 03ක් සහ කාන්තාවන් අවුරුදු 02ක් සේවය කළ යුතුය. එය දේශීය පුරවැසියන්ට මෙන්ම විදේශීය රටවල ජීවත් වන ඊශ්‍රායල් පුරවැසියන්ට අදාළ වේ. නව සංක්‍රමණිකයන් සහ සමහර ආගමික කණ්ඩායම් සඳහා වෛද්‍ය හේතු මත නිදහස් කිරීම් ලබා දී ඇත. 

විශේෂ අවස්ථා වලදී, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කෙටි සේවා කාලයක් සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

සිරියාව

සියලුම සිරියානු පිරිමි අයවලුන් සඳහා හමුදා සේවය අනිවාර්ය වේ.

2011 මාර්තු මාසයේදී ජනාධිපති බෂාර් අල් අසාද් හමුදා සේවය මාස 21 සිට 18 දක්වා අඩු කරන ලෙස නියෝගයක්ද නිකුත් කළේය.

මෙම හමුදා සේවය මඟ හැර යන රාජ්‍ය සේවකයින්ට රැකියා අහිමි විය හැකිය. මානව හිමිකම් සංවිධානයක් වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් වාර්තා කරන අන්දමට හමුදා සේවයෙන් පලා යන අය වසර 15 ක් සිරගත කරනු ඇති බවද සඳහන්.

මෙම රටවලට අමතරව කියුබාව, තුර්කිය, ග්‍රීසිය, ඉරානය, සයිප්‍රසය වැනි රටවලද වයස සම්පුර්ණ වූ පසුව හමුදා සේවය අනිවාර්ය කර ඇති අනිකුත් රටවල් ලෙස සඳහන් කළ හැකිය.

(BBC World ඇසුරිණි)

Rate this item
(2 votes)
Last modified on Friday, 12 March 2021 15:06