April 25, 2024

‍Facebook හී ප්‍රසිද්ධියට පත් දෑස් නොපෙනෙන විදී සංගීත ශිල්පියාගේ කතාව

සමාජ මාධ්‍ය තුළ කාලයෙන් කාලයට විවිධ මාතෘකාවන් සිදුවීම් කරලියට නැගෙයි. ඒ අතර සමහර සිදුවීම් ලෝකයේම ප්‍රසිද්ධියට පත්වෙයි.

සමාජ මාධ්‍ය පුරාවට "Cat Vibing To Ievan Polkka" නැතහොත් ඉවාන් පොල්කා ගීතයට නටන පුසාගේ වීඩියෝව දැඩි ලෙස ප්‍රසිද්ධියට පත් විය.

මෙම වීඩියෝව පසුව විවිධ ආකාරයට සංස්කරණය කළ අතර වරක් ඇමෙරිකාවේ වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එම ගීතයට නටන දර්ශනයක් දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය විය.

මෙය සමාජ මාධ්‍ය උන්මාදයෙන් පෙළෙන්නන්ගේ හාස්‍ය ජනක නිර්මාණයන්වල පසුතලයක් බවටද පත් විය.

ඒ නිසාම මෙහි සිටින දෑස් නොපෙනෙන තුර්කි විදී සංගීතඥයාද ලෝක ප්‍රසිද්ධියට පත්විය.

මෙම ලිපියෙන් කියන්නට යන්නේ ඒ පිළිබඳවයි.

මුල් වීඩියෝවේ දර්ශනයක්

මෙම වීඩියෝවේ සිටින පුද්ගලයා තුර්කි ජාතික විදී සංගීතඥයෙකු වන බිලාල් ගෙරෙගන් ය. ඔහුගේ දෑස් දෙකම නොපෙනන බවත් සඳහන් වෙයි.

බිලාල් විසින් මෙලෙස උද්‍යානයක බංකුවක් මතට වී ගායනා කරනු ලබන්නේ වර්ෂ 1930 දී ඉතාමත් ජනප්‍රිය වූ ෆින්ලන්ත ගීතයක් වන Ievan Polkka (ඉවාන් පොල්කා) නම් ගීතයයි. 

2019 වසරේ දී පුද්ගලයෙකු විසින් මෙම ගීතය මුල්වරට වීඩියෝ කර යුටියුබ් (Youtube) සමාජ ජාලයට එක් කර තිබුණු අතර පසුව 2020 වසර පමණ වන විට රෙඩ්ඩිට් (Reddit) සමාජ මාධ්‍ය තුළද ඉන්පසුව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයෙන් ජනප්‍රියත්වයට පත් වන්නට විය. 

ඔහුගේ මෙම වීඩියෝව සඳහා යුටියුබ් සමාජ මාධ්‍යයේ ඉහළ ප්‍රතිචාරයක් ද ලැබී තිබුණු අතර මේ වන විටත් එය නැරඹුම් වාර් මිලියන 33ත් ඉක්මවා ඇති අතර එයට ලයික් මිලියනයකට අධික ප්‍රමාණයක් ද හිමිව තිබේ.

බිලාල් ගෙරෙගන් 

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසුව ජෝ බයිඩන්ගේ පාක්ෂිකයන් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රැලියක් අතර නටන වීඩියෝවක්  බිලාල්ගේ ගීතයට සංස්කරණය කරමින් එක් කළ අතර ඉන්පසුව බිලාල් ගෙරෙගන් ඔහුගේ මුල් වීඩියෝවෙන් ලැබූ ප්‍රසිද්ධියට වඩා ප්‍රසිද්ධියක් ද ලැබීය.

බිලාල් සිය සංගීතය ගැන පවසමින් කියා සිටියේ තුර්කියේ ජීවත් වන බොහෝ දෙනා හට දර්බුකා වාදනය කළ හැකි බවත්, ගීත ගායනා කළ හැකි බවත්ය. 

නමුත් තුර්කියේ වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමට සහ විවිධ රිද්මයන් තමන්ගේ හඬින් අනුකරණය කළ හැකි එකම තැනැත්තා තමා බවද බිලාල් පවසා තිබුණී.

මෙම ජනප්‍රිය ගීතයට අමතරව බිලාල් විසින් ඉන්දියානු ගීතයත් ද මෙලෙසම ගයනා කර තිබුණු අතර එය ඉන්දියාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර අතිශයෙන්ම ජනප්‍රියත්වට පත් වූ බවද සඳහන් වෙයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 18 January 2021 07:02