March 29, 2024

ඇමෙරිකානු දේශපාලන කේන්ද්‍රස්ථානයට පහර දුන් පිරිස දිරිමත් කළ ඩොනල්ඩ් ට්‍රම්ප් හට වැඩ වැරදුණු හැටි

ඇමෙරිකාවේ වත්මන් ජනාධිපතිවරයාට තම ධූර කාලය අවසන් වීමට තවත් සති 02ක් පමණ ඉතිරිව තිබියදී මුුළු ලෝකයටම මවිත කරවන සිදුවීම් දාමයක් ආරම්භ වී තිබේ.

ඒ ඇමෙරිකාවේ දේශපාලනික කේන්ද්‍රස්ථානය වන වොෂිටන් ඩි.සී නුවර පිහිටි කැපිටල් ශාලාවට ට්‍රම්ප් පාක්ෂිකයන් පහර දීමත් සමඟයි.

මෙම පහර දීමේ දී කාන්තාවක් ද ආරක්ෂක අංශ වෙඩි පහරකින් මියගොස් තිබේ.

මෙම සිදුවීම් දාමයට ඇමෙරිකානු වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද ප්‍රකාශයන් හේතු වූ බවට සඳහන් කරමින් ලෝ ප්‍රකට ෆේස්බුක් සහ ට්විටර් සමාජජාල තුළ තිබූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ නිල ගිනුම් සියල්ලම අත්හිටුවා තිබේ.

ඔහු විසින් කැපිටල් ශාලාවට පහර දුන් පිරිස වෙනුවෙන් ට්විටර් පණිවිඩයක් තබා තිබූ අතර එහිදී ඔහු විසින් එම පිරිසට "මම නුඹලාට ආදරෙයි" යනුවෙන් පවසා තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් පසුව එම පිරිසට නැවත පණිවිඩයක් තබමින් පවසා තිබුණේ නීතිය ආරක්ෂා කරමින් නැවත නිවෙස් වෙත යන ලෙසයි.

ජනාධිපතිවරයා විසින් තබා තිබූ ට්විටර් සටහන පහතින්,

ට්විටර් සමාගම පෙන්වා දෙන්නේ ඔවුන්ගේ ආයතන විසින් පනවා ඇති නීතිමය තත්ත්වය ජනාධිපතිවරයා විසින් උල්ලංඝනය කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් පළ කර තිබූ ට්විටර් පණිවිඩ කිහිපයක් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වන විට ජනාධීපතිවරයාගේ ට්විටර් ගිනුම තාවකාලිකව අත්හිටුවා ඇති බවත්, ඉදිරියේදීත් ඔහු  විසින් දිගින් දිගිටම සමාජ විරෝධි අදහස් පළ කළොත් එම ගිනුම සම්පුර්ණයෙන්ම ගලවා ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිනුම අවහිර කිරීම නිසා ධවල මන්දිරයේ සමාජ මාධ්‍ය පිළිබඳ අධ්‍යක්ෂකවරයා වන ඩෑන් ස්කාවිනෝ විසින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් සිය ගිනුමෙන් පළ කර තිබුණි.

එහිදී ජනාධිපතිවරයා විසින් සඳහන් කර තිබුණේ මැතිවරණයේ ප්‍රතිඵලය ගැන තමා මුලුමනින්ම එකඟ නොවූවත්, එයට හේතු වූ කරුණු තමා විසින් හෙළිදරව් කළත්, ජනවාරි 20 වනදා විධිමත් බල හුවමාරුවක් සිදුවනු ඇති බවයි.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් තවදුරටත් සඳහන් කර තිබුණේ නෛතික ඡන්ද පමණක් ගණන් කිරීම සහතික කිරීම සඳහා අපගේ සටන දිගටම කරගෙන යන බවයි.

ඇමෙරිකානු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ජනාධිපති ධූර කාලය මෙයින් අවසන් වුවත්, එය ඇමෙරිකාව ශ්‍රේෂ්ඨත්වය කරා ගෙන යෑමේ ආරම්භය වනු ඇති බවටද ජනාධිපතිවරයා සිය පණිවිඩය ඔස්සේ පවසා තිබේ.

මීට අමතරව ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම් සමාජජාලවලින් ද ජනාධිපතිවරයා පැය 24ක කාලයක් සඳහා අවහිර කර ඇති අතර යූටියුබ් වීඩියෝ සමාජජාලයෙන් ද ඔහු විසින් විරෝධතාකරුවන් සඳහා කෙරෙන පණිවිඩ සහිත වීඩියෝ ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Rate this item
(0 votes)