April 25, 2024

උතුරු කොරියානු නායකයා තමා ‘ෆේල්’ වුණු බවට ප්‍රසිද්ධියේම පිළිගනී

උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් කොරෝනා වෛරසය හමුවේ රට හුදෙකලා කිරීම සඳහා වූ සිය පස් අවුරුදු ආර්ථික සැලැස්ම සෑම අංශයකින්ම පාහේ ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වී ඇති බවට පිළිගෙන තිබේ.

සිය නායකත්ව ධූර කාලය තුළ 08 වන වරට සිය පාලක පක්ෂය වන  කම්කරු පක්ෂයේ සම්මේලනයක් අමතමින් ඔහු මේ බව කියා තිබුණි.

කිම් ජොන් උන් ඉතාමත් කලාතුරකින් පමණක් සිය පාලක පක්ෂය අමතන බවද වාර්තා වෙයි.

උතුරු කොරියාව තුළ කොරෝනා වෛරසය නොමැති බවට තහවුරු කරගෙන තිබියදීත් කොවිඩ්-19 රෝගය පැතිරීම වැළැක්වීම සඳහා උතුරු කොරියාව පසුගිය ජනවාරි මාසයේදී සිය දේශසීමා වසා දැමීය.

එමඟින් උතුරු කොරියාවේ ළඟම සගයා ලෙස සලකනු ලබන චීනයට උතුරු කොරියාව සමඟ ඇති සම්බන්ධතා ගිලිහී ගිය බව වාර්තා වෙයි.

මෙම රටවල් දෙක අතර පැවැති ආර්ථිකමය සම්බන්ධතා 80% කින් පමණ පහත වැටී ඇති බවටද සඳහන් වෙයි.

පසුගිය කාලය තුළ උතුරු කොරියාවේ සුළි සුළං හා ගංවතුර හේතුවෙන් නිවාස හා කෘෂිකාර්මික ස්ථානයන් විනාශ වී ගොස් ඇති අතර එරට ප්‍රධාන බලශක්ති ක්‍රමවේදයක් වන න්‍යෂ්ටික වැඩපිළිවෙලටද දැඩි ජාත්‍යන්තර සම්බාධක පවතී.

උතුරු කොරියාවේ අගනුවර වන ප්යොන්ග්යැං හී සම්මන්ත්‍රණ ශාලාවක මෙම විශේෂ පාලක පක්ෂ හමුව පවත්වා ඇති අතර එහිදී කිම් ජොන් පවසා තිබුණේ 2016 දී තමා විසින් ප්‍රකාශයට පත් කරන ලද පස් අවුරුදු උපායමාර්ගය සෑම අංශයකම පාහේ අඩු ජයග්‍රහණයක් ලබා ඇති  බවත් එහි වැරදි නිර්භීතව පිළිගත යුතු බවත්ය.

එමෙන්ම ඔහු කොරෝනා වෛරස් තර්ජනයට එරෙහිව සටන් කිරීම ගැන පක්ෂ ක්‍රියාකාරීන්ට ප්‍රශංසා කළේය.

මෙම අවස්ථාවට පැමිණි කිසිවෙකු මුහුණු ආවරණ නොපැළඳ සිටි බවට වාර්තා වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) සැක සහිත ආසාදන දහස් ගණනක් උතුරු කොරියාව විසින් වාර්තා කර ඇත.

Rate this item
(0 votes)