March 29, 2024

පරණ පාර්ලිමේන්තුවේ ඉඩ මදිවෙයි - නව පාර්ලිමේන්තුවකට මුල්ගල් තියයි - අගමැති පොඩියට උත්සවයකුත් ලෑස්ති කරයි

December 10, 2020

ඉන්දීයානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) දිනයේදී ඉන්දියාවේ නව පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීම සඳහා දේව පූජා මධ්‍යයේ මුල් ගල් තැබීම සිදු කර තිබේ.

මෙම අවස්ථාවේ උත්සව අවස්ථාව අන්තර්ජාලය ඔස්සේ සජීවිව පැවැත්වූ අතර උත්සවයට මධ්‍යම අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආගමික නායකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් 200 ක් පමණ සහභාගී වූහ.

උත්සවය මෙලෙස ආරම්භ වුවත් ඉදිකිරීම් කටයුතු කරගෙන යෑම සඳහා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය අවශ්‍යව තිබේ.

එයට හේතුව බවට පත්ව ඇත්තේ පරිසර ඇගයීම් වාර්තාවක් කැඳවා තිබීමයි. නව පාර්ලිමේන්තු සංකීර්ණය ඉදි කිරීමේ ස්ථානය සම්බන්ධයෙන් පරිසර සංවිධානයන් විසින් නඩු ගොනු කර තිබුණි.

මෙම නව පාර්ලිමේන්තු සංකීර්ණය නිර්මාණය කිරීම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 20,000ක් යනු ඇති බවට ගණන් බලා ඇත.

යෝජිත මෙම නව පාර්ලිමේන්තු සංකීර්ණය 2022 වසරේ ඉන්දීයාවේ 75 වෙනි නිදහස් දිනය වෙනුවෙන් විවෘත කිරීම සඳහා වැඩ නිම කිරීමට අපේක්ෂා කර තිබේ.

මෙම ගොඩනැගිල්ල ලෝක් සභා සභාවේ සාමාජිකයින් 888 දෙනෙකුට අසුන් ගත හැකි බවත් සම්පුර්ණ සාමාජිකයන් 1,224කට අසුන් ගැනීමට හැකිවන අයුරින් නිර්මාණය කිරීමටද සුදානම් බව වාර්තා වෙයි.

මෙම සංකීර්ණය තුළ සෑම මන්ත්‍රීවරයෙකුටම මීටර් 40ක් පුරාවට විහිදුණු කාර්යාල ගොඩනැගිල්ලක්ද ලබා දීමට නියමිත බව වාර්තා වෙයි.

වත්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට වසර 93ක ඉතිහාසයක් ඇති අතර එය ශ්‍රීමත් එඩ්වඩ් ලුටියන්ස් විසින් බ්‍රිතාන්‍ය පාලන යුගයේ නිර්මාණය කර තිබේ.

 වසර ගණනාවක් තිස්සේ ව්‍යවස්ථාදායක හා පාර්ලිමේන්තු කටයුතු වල ගැඹුර, විෂය පථය හා සංකීර්ණත්වය වැඩිවීමත් සමඟ වසර 93 ක් පැරණි ගොඩනැගිල්ල තුළ ස්ථාපනය කළ නොහැකි නවීන, අධි තාක්‍ෂණික පහසුකම් අවශ්‍ය බව බොහෝ සාමාජිකයින් ප්‍රකාශ කර ඇති බව රජය පවසයි.

Rate this item
(0 votes)