March 28, 2024

"අගමැති වැටුප මදි - කළින් රැකියාවේ මීට වඩා හම්බ කළා" - බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වෙන්න යයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව සලකා බලමින් සිටින බවට වාර්තා වෙයි.  එයට හේතුව වී ඇත්තේ ඔහුගේ වැටුප ප්‍රමාණවත් නොවීමයි.

කොරෝනා වසංගතය යම් ස්ථාවර මට්ටමකට පත් කර ගැනීමෙන් පසුව හා ඔහු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයට පත් ප්‍රධානම හේතුව වන බ්‍රෙක්සිට් සාර්ථක කර ගැනීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයා විසින් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම සලකා බලමින් සිටින බවට එරට ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.

ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් නම් හෙළි නොකළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහන් කර තිබුණේ අග්‍රාමාත්‍යවරයාට ලැබෙන වැටපුට වඩා වැටුපක් ඔහු අග්‍රාමාත්‍යවරයා වීමට පෙර කළ රැකියාවේ දී උපයා ගැනීමට සමත්ව තිබූ බවයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ වැටුප ලෙස වාර්තා වන්නේ වසරකට පවුම් 150,402ක (ඩොලර් 194,244ක්) මුදලකි. එය ඔහුට ජීවත් වීමට තරම් ප්‍රමාණවත් නොවන බව අග්‍රාමාත්‍යවරයා කිහිප අවස්ථාවකම සඳහන් කර ඇති බව සඳහන් වෙයි.

අග්‍රාමාත්‍යවරයා වීමට පෙර බොරිස් ජොන්සන් එරට ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතේ තීරු ලිපි සම්පාදකයෙකු ලෙස කටයුතු කර ඇති අතර එහිදී ඔහු එහිදී මාසයකට ස්ථාවර වැටුපක් ලබා ගත් අතර එය පවුම් 23,000ක මුදලකි. ඔහු වසරකට පවුම් 275,000ක් එමඟින් උපයා ගැනීමට සමත්ව තිබුණි.

බොරිස් ජොන්සන් සිය දික්කසාද වූ බිරිඳ හටද සිය වැටුපෙන් කොටසක් ගෙවීමට සිදුවීමත්, අලුත උපන් බිළිඳාගේ වැඩ කටයුතු කර ගැනීමටත් මෙම වැටුප ප්‍රමාණවත් නොවන බව සඳහන් වෙයි.

බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වුණද ඔහුගේ තැන ගැනීම සඳහා තවත් විශාල පිරිසක් මාන බලමින් සිටින බවද ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබුණි. 

Rate this item
(0 votes)