March 29, 2024

වගා හානි සිදු වූ ගොවීන්ට මිලියන 210ක වන්දි

පාලනය කරගත නොහැකි ස්වභාවික විපත් නිසා 2021 යල කන්නයේ වී, බඩඉරිඟු, සෝයා, අර්තාපල්, ලොකු ළූණු හා මිරිස් වගාවන්ට සිදු වූ හානි වෙනුවෙන් ගොවීන්ට වන්දි ගෙවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පවසනවා.

මෙම රක්ෂණ වැඩසටහන යටතේ වාරික මුදල් අය කිරීමකින් තොරව උපරිමය අක්කරයකට රුපියල් 40,000 කට යටත්ව රුපියල් මිලියන 210 ක මුදලක් ගොවීන් 8,678 දෙනෙකුට වන්දි වශයෙන්  ප්‍රදානය කෙරෙනවා.

සියලුම ගොවීන්ට හිමි වන්දි මුදල් 2022 අප්‍රේල් 05 දින ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කර තිබෙනවා. 2022 අප්‍රේල් 06 සිට අදාල බැංකු ශාඛාවෙන් මුදල් ලබා ගත හැකියි.

වන්දි මුදල් ලබා ගැනීමට විධිමත් ලෙස අයදුම්කර 2022 අප්‍රේල් 08 තෙක් වන්දි නොලැබුණ ගොවීන් මේ පිළිබඳ අභියාචනයක් තම ගොවිජනසේවා මධ්‍යස්ථානය මගින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතු බව අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙනවා.

 

Rate this item
(0 votes)