April 19, 2024

"සිලෝන් ටී" නාමයත් අවසන් වෙයිද? තේ කර්මාන්තය අනතුරේ

මේ වන විට මෙරට මුහුණ දී ඇති ඉන්ධන සහ විදුලිය හිඟය පිළිබඳ වත්මන් තත්ත්වය වැවිලි අංශයේ දෛනික කටයුතු අඩාල වීමට ප්‍රධාන තර්ජනයක් වී තිබෙන බව කොළඹ තේ වෙළෙන්දන්ගේ සංගමය පවසනවා.

මේ හේතුවෙන් කුඩා තේ වතු හිමියන්ගේ පමණක් නොව වතුකරයේ තේ වතුවල පවා නැවුම් දළු කම්හල් වෙත ප්‍රවාහනය කිරීම අඩාල වී තිබීම තේ වතු හිමියන් මුහුණ දී ඇති කණගාටුදායක තත්ත්වයක්.

තවද ඩීසල් නොමැති වීම හේතුවෙන් විදුලිය නොමැති අවස්ථාවන්හී දී විදුලි ජනක යන්ත්‍රයන් ද ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම නිසා තම නිෂ්පාදන නියමිත වේලාවට සකස් කර ගැනීමට ඔවුන් අසමත් වී තිබෙනවා.

මේ තත්ත්වය මත බොහෝ කර්මාන්ත ශාලා වැසී යාමේ අවදානමකට ද මුහුණ දී ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ.

තේ තොග ද සීමාවෙලා

මෙම තත්ත්වයේ වැඩි බලපෑමක් ඇති වී ඇත්තේ මෙරට තේ නිෂ්පාදනයෙන් 70% කට වැඩි දායකත්වයක් සපයන කුඩා තේ වතු හිමියන්ටයි.

කොළඹ තේ වෙළෙන්දන්ගේ සංගමය විසින් තේ වෙන්දේසි සිදුකරනු ලබන්නේ සතිපතා කොළඹට ලැබෙන තේ තොග මතයි.

කෙසේ වෙතත් මේ වනවිට කොළඹට ලැබෙන තේ තොග ද සීමා වී ඇත්තේ ඉන්ධන හිඟය හේතුවෙන් තේ නිෂ්පාදකයින්ට තම අස්වැන්න කොළඹට ප්‍රවාහනය කිරීමට නොහැකි වීම හේතුවෙන්.

මේ හේතුව නිසාවෙන් පීඩාවට පත්ව ඇති අනෙක් පාර්ශවය වනුයේ තේ අපනයනකරුවන්ය.

සිලෝන් ටී වෙනුවට වෙනත් විකල්පයන්

ඔවුන්ට නිසි පරිදි තේ තොග ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් තම අපනයන කාලසටහන් සකස් කර ගැනීමේ ගැටලු ඇති වී තිබෙනවා.

මේ හේතුවෙන් මෙරටින් තේ ආනයනය කරන්නන් සිලෝන් ටී වෙනුවට වෙනත් විකල්පයන් ආදේශ කර ගැනීමට සූදානම් වෙයි. එය එසේ වුවහොත් මෙරට තේ කර්මාන්තයට සිදුවන හානිය කියා නිම කිරීමට නොහැකි වනු ඇති බව එම සංගමය පෙන්වා දෙනවා.

එබැවින් මෙම අර්බුදය කඩිනමින් විසඳා නොගතහොත් ජාතික ආර්ථිකයට පමණක් නොව තේ කර්මාන්තයෙන් තම ජීවිකාව ගෙන යන මිලියන 2කට අධික ජනතාවට ද මුහුණ දීමට සිදුවනුයේ පෙර කිසි දිනක මුහුණ නොදුන් ගැටලුවකටයි.

මිලියන 2ක රැකියා

1894 දී පිහිටුවන ලද කොළඹ තේ වෙළෙන්දන්ගේ සංගමය යනු තේ වගාකරුවන්, නිෂ්පාදකයින්, තැරැව්කරුවන් සහ අපනයනයකරුවන් යන සියලුම පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත තේ වෙළඳාම හා සම්බන්ධ පෞද්ගලික අංශය සතු විශාලතම ආයතනයයි.

මෙම ආයතනය තුළින් මිලියන 2කට අධික පිරිසක් වෙත රැකියා අවස්ථා සපයා දී ඇති අතර මෙරට ග්‍රාමීය ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර තිරසාර කිරීම සඳහා ද මොවුන් විසින් ප්‍රධාන දායකත්වයක් සපයනවා.

ශ්‍රී ලංකාව තම වාර්ෂික තේ නිෂ්පාදනයෙන් 90%කට වඩා අපනයනය කරන අතර එමඟින් මෙරටට ලැබෙන අපනයන ආදායම ඩොලර් බිලියන 1.3 ඉක්මවනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 April 2022 12:04