April 20, 2024

දඹුල්ලේ එළවලු ගොඩ ගැසෙයි! වෙළෙන්දෝ නෑ - අලුත්ම මිල මෙන්න

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය සතියේ සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු තොග මිල විශාල වශයෙන් අද (30) දහවල් වන විට මිල පහළ වැටී තිබෙනවා.

කෙසේ වෙතත් මේවන විට එළවලු අලෙවි නොවන තත්වයකට පත්ව ඇතැයි ගොවින් ඒෂියන් මිරර් වෙත පැවසුවා.

එළවළු මිල පහත වැටීම හා අලෙවි නොවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් නොපැමිණීම හා ඉන්ධන හිගය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

පසුගිය සතියේ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 230ත්, 280ත් අතර ඉහළ අගයක් ගෙන තිබුණා. අද බෝංචි කිලෝවක තොග මිල රුපියල් 100ත්, 130ත් දක්වා පහත වැටී තිබීම විශේෂත්වයක්.

බෝංචි මිල පහත වැටීම නිසා අනෙකුත් සෑම එළවලු කිලෝවකම තොග ගැනුම් මිල පහත වැටෙන බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයින් ඒෂියන් මිරර් වෙත කියා සිටියා.

තෙල්, පොහොර නොමැතිව දැඩි දුෂ්කරතා හමුවේ තමන් එළවළු වගා සිදු කළ බවද ඉන්ධන පෝලිම්වල සිට ඉන්ධන ගෙන ආර්ථික මධ්‍යස්ථානයට අලෙවි කිරීම් සඳහා රැගෙන ආ අස්වැන්න අලෙවි නොවීම බරපතළ ප්‍රශ්නයක් බව ගොවීන් සඳහන් කරනවා.

සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන තමන් එළවළු වගා කළ ද දිවයිනේ සෑම භාණ්ඩයක්ම මිල ඉහළ යද්දී එළවලළු මිල මේ ආකාරයෙන් පහත වැටීම නිසා දැඩි අසීරුතාවයකට පත් වන බව ද ඔවුන් ප්‍රකාශ කළා.

ගොවීන් පිළිබඳව සොයා බැලීම හෝ මෙවැනි සිද්ධීන් පිළිබඳව සොයා බැලීමක් නොකිරීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බවයි ගොවීන් චෝදනා කරන්නේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු කිලෝවක තොග මිල මෙසේය,

බෝංචි130 -140, ගෝවා 50ත් 55 ත්, අමුමිරිස් 250 ත් 360ත්, ලීක්ස් 50- 60ත්, දඹල 70ත් 80 ත්, කරවිල 80 -110 ත්, කැරට්  130- 150 ත්, වට්ටක්කා  50-  60 ත්, මාළුමිරිස් 180- 200 ත්, පිපිඤ්ඤා 15 ත් 20 ත්, වම්බටු 85 -100ත්, මෑ කරල් 90 - 100ත්, පතෝල 70 -80ත්, වැටකොළු 80 -100ත්, නෝකොල් 60ත් 80 ත්, බිට් 50 ත් 80ත්, තක්කාලි  40 - 50ත්, කැකිරි 10 - 20 ත්, රාබු 20- 35 ත් අතර මිලක් නියම වී තිබෙනවා.

වෙළදපලට පැමිණ සිටින වෙළෙන්දෝ තම නිෂ්පාදන ඉතා අඩු මුදලකට ලබා ගැනීමේ උත්සාහයක නිරතවන බවද ගෝවීන් චෝදනා කරනවා. 

ආර්ථික මධ්‍යස්ථානයට යාපනය ප්‍රදේශයෙන් වම්බටු, මෑකරල්, රතුලූනු, මඤ්ඤොක්කා, නයි මිරිස් ආදී එළවළු වර්ග රැසක් ලැබී තිබුණු බවත් ඉදිරි දින කිහිපයේදිත් ඇතැම් විට යාපනයෙන් දඹුල්ලට එලවළු ලැබුණහොත් තොග මිල තවත් පහල යනු ඇති බව ව්‍යාපාරිකයන් කියා සිටියා.

ආර්ථික මධ්‍යස්ථානය පුරා විශාල හිගයක් පැවැති අමු මිරිස් තොග ද මෙදින ආර්ථික මධ්‍යස්ථානයට සැලකිය යුතු ප්‍රමාණයක් ලැබීමත් සමඟ රුපියල් 750 ත් 1000ත් අතර අලෙවි වූ අමු මිරිස් කිලෝව මෙදින රුපියල් 250ක් දක්වා අඩු මුදලකට අලෙවි වීම තවත් කරුණක්.

Rate this item
(0 votes)
Last modified on Friday, 01 April 2022 13:19